ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර එළඹෙන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ඉහළ පෙළේ හමුවට පෙර, බීජිං පාලනය වොෂින්ටනයට එරෙහිව සිය ආර්ථික පීඩන මෙවලම් (Economic Pressure Toolkit) වේගයෙන් වර්ධනය කරමින් සිටින බව වාර්තා වේ.
පසුගිය ඔක්තෝබර් මාසයේදී දෙරටේ නායකයින් හමුවූ අවස්ථාවේදී, චීනය විසින් දුර්ලභ පාෂාණ (Rare Earth) අපනයන පාලනය ඉවත් කිරීමටත් ඇමෙරිකානු සමාගම්වලට එරෙහි පියවර නතර කිරීමටත් එකඟ වී තිබුණි. එහෙත් එම එකඟතාවලට මුවා වී චීනය සිය ආර්ථික බලපෑම් මෙවලම් තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව විචාරකයෝ පෙන්වා දෙති.
පසුගිය මාස කිහිපය තුළ චීනය විසින් විදේශීය ආයතනවලට දඬුවම් පැනවීම සඳහා නව නීති සම්පාදනය කිරීම, රජයේ දත්ත මධ්‍යස්ථාන සඳහා විදේශීය AI චිප් භාවිතය තහනම් කිරීම සහ ඇමෙරිකානු හා ඊශ්‍රායල සයිබර් ආරක්ෂණ මෘදුකාංග භාවිතය වැළැක්වීම වැනි දැඩි නීති සහ සීමාවන් පනවා තිබේ. මීට අමතරව දුර්ලභ පාෂාණ බලපත්‍ර ක්‍රමය දැඩි කිරීමට සහ සූර්ය බලශක්ති නිෂ්පාදන උපකරණ අපනයනය සීමා කිරීමට ද පියවර ගෙන ඇත.
පවතින ඉරාන යුද්ධය හමුවේ චීනය ට්‍රම්ප් පරිපාලනය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් වැළකී සිටියද, ආර්ථිකමය වශයෙන් ඇමෙරිකාව මත පවතින යැපීම අවම කර ගැනීමටත්, ඒ වෙනුවට වොෂින්ටනයට පීඩනයක් එල්ල කළ හැකි ආර්ථික බලපෑම් ජාලයක් නිර්මාණය කිරීමටත් බීජිං පාලනය කටයුතු කරමින් සිටී. මැයි මැද භාගයේදී පැවැත්වෙන ට්‍රම්ප්-ෂී හමුවේදී මෙම ආර්ථික සහ තාක්ෂණික ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














