ඉරාන යුද ගැටුම් හමුවේ ගෝලීය තෙල් සහ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ඇති වී තිබෙන බලශක්ති අර්බුදයෙන් ආරක්ෂා වීමට බ්‍රිතාන්‍ය රජය දැවැන්ත පිරිසිදු බලශක්ති විප්ලවයක් ප්‍රකාශයට පත් කර තිබේ. අද (අප්‍රේල් 21) ලන්ඩන් නුවරදී විශේෂ ප්‍රකාශයක් කරමින් බලශක්ති ලේකම් එඩ් මිලිබෑන්ඩ් මහතා පැවසුවේ පොසිල ඉන්ධන මත යැපෙන යුගය දැන් නිල වශයෙන් අවසන් කළ යුතු බවයි.
බ්‍රිතාන්‍ය රජයේ නව සැලසුම් යටතේ රජය සතු පොදු ඉඩම්වල මහා පරිමාණ සූර්ය පැනල සහ සුළං ටර්බයින ස්ථාපනය කිරීමට නියමිතය. මෙමගින් නිවාස මිලියන 5කට පමණ අවශ්‍ය විදුලිය උත්පාදනය කළ හැකි ගිගාවොට් 10ක දැවැන්ත බලශක්ති ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කෙරේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙතෙක් ස්වභාවික ගෑස් මිල මත පදනම්ව තීරණය වූ විදුලි මිල සූත්‍රයෙන් විදුලි පිරිවැය වෙන් කිරීමට පියවර ගැනීමයි. එමගින් ගෝලීය වෙළඳපොළේ ගෑස් මිල ඉහළ ගියද බ්‍රිතාන්‍ය වැසියන්ට අඩු පිරිවැයකට විදුලිය ලබා දීමට මඟ පෑදේ.
ඉරාන ගැටුම් හේතුවෙන් ගෑස් මිල සාමාන්‍ය මට්ටමට වඩා 30%කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය ජනතාවගේ ජීවන වියදමට දැඩි බලපෑමක් එල්ල කර ඇත. මේ නිසා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා පවතින නීති රීති ලිහිල් කිරීමටත් නිවාසවල සූර්ය පැනල සහ විද්‍යුත් වාහන ආරෝපණ පද්ධති සවිකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමටත් බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම හරහා රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම බ්‍රිතාන්‍ය රජයේ මූලික ඉලක්කය වී ඇත.















