කෙසේ වෙතත්, අපරාධකරුවන් අපේක්ෂා කළ ලෙසම උපකුලපති මහාචාර්ය අබේගුණවර්ධනයන්ගේ ධූරකාලය අවසන් වීමෙන් පසුව, වෑන් රථය ගිනි තැබීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ ඉතා දියාරු තත්ත්වයට පත් විය. පුදුම සහගත ලෙසට, මේ සම්බන්ධයෙන් සිදුකෙරුණු අභ්‍යන්තර පරීක්ෂණය මගින් අපරාධය සම්බන්ධ කිසිදු වගකිවයුත්තෙකු පිළිබඳ හෝඩුවාවක් සොයාගෙන තිබුණේ නැත. රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් වරදකරු කළ එම්. රණසිංහ බණ්ඩා හෙවත් “නවරියන්” පමණක් සේවයෙන් නෙරපා හැරීමට නිර්දේශ කර තිබූ අතර, වෙනත් කිසිදු වරදකරුවෙකු සොයා ගැනීමට ඔවුන් අසමත් විය. ඒ අනුව, “පහත් තැනින් ජලය ගලා යයි” යන නියමයට අනුව, ආරක්ෂක නියාමක රණසිංහ බණ්ඩා සේවයෙන් නෙරපා හැරීමෙන් පමණක් එම සාහසික පරිච්ඡේදය අවසන් කොට මෙම අභිරහස වළ දැමීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කටයුතු කළේය.
රක්ෂණ ආයතනය විසින් අදාළ වෑන් රථයේ වටිනාකම ලෙස රුපියල් පනස් හතර ලක්ෂ විසිපන්දහසක (5,425,000) මුදලක් තක්සේරු කර තිබුණි. එකී රක්ෂණ මුදල පසුව විශ්වවිද්‍යාලය වෙත ලැබෙන්නට ඇත. එහෙත් ඉන් සිදුව ඇති අලාභය සහ විශ්වවිද්‍යාලයට සිදු වූ හානිය කිසිසේත්ම පූර්ණය වන්නේ නැත.
මෙම සිදුවීමට සම්බන්ධ අපරාධකරුවන් කිහිපදෙනෙක් සිය සේවා කාලය අවසන් කර විශ්‍රාම පාරිතෝෂික පමණක් නොව, උණුසුම් සමුගැනීමේ සාදයන්ද, වටිනා තිළිණද රැගෙන විශ්වවිද්‍යාලයෙන් සමුගෙන ගොස් විවේකීව සිය විශ්‍රාම දිවිය ගත කරති. එකී සමුගැනීමේ සාදයන්හිදී ඔවුන් විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සිදුකළ අගනා සේවය සම්බන්ධයෙන් විචිත්‍රවත් අගයකිරීමේ කතා රාශියක්ද කියැවී ඇත. තවත් කිහිපදෙනෙක් තවමත් විශ්වවිද්‍යාලයේ සේවය කරති. ඔවුන් විශ්‍රාම යන දිනයන්හිදීද එවැනිම අගයකිරීම් සහ සමුගැනීම් ලැබෙනු ඇත. ලාංකිකයන්ට ඉතා ඉක්මනින් අතීතය අමතක වන බව ප්‍රකාශ වී තිබේ.
ඒ සියල්ලන්ට අමතක වුවත්, ගිනිගෙන විනාශ වූ වෑන් රථයේ වානේ සැකිල්ල තවමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දිරමින් පවතී. පේරාදෙණිය යනු “මුදා නොගත් කලාපයක්” නොවේ නම්, මෙම අපරාධය කාලයේ වැලිතලාවෙන් වැසී යාමට තවදුරටත් ඉඩදිය යුතුදැයි අපි නැවත වරක් ප්‍රශ්න කරන්නෙමු.
– සමාප්තයි
















