ලෝක සාමය පතා පා ගමනින් වැඩම කරන, ඇමරිකාවේ වෙසෙන වියට්නාම ජාතික පඤ්ඤාකර හිමියන් ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් පසු නැවත ඇමරිකාව බලා වැඩම කර තිබේ. එහිදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ශ්‍රී ලාංකික ජනතාවගේ මනුස්සකම සහ ශ්‍රද්ධාව පිළිබඳව ලෝකය හමුවේ අතිශය සංවේදී අදහස් කිහිපයක් පළ කර ඇත.
දඹුල්ලේ සිට කොළඹ දක්වා වූ ගමනේදී හිරු රශ්මියෙන් රත්වූ මහ පොළොව මත පාවහන් රහිතව වැඩම කළ සිය පාද සිසිල් කිරීම සඳහා ලාංකික ජනතාව සැතපුම් ගණනාවක් පුරා කෙසෙල් කොළ අතුරා ඒ මත පැන් ඉසූ අයුරු උන්වහන්සේ සිහිපත් කළහ. මෙය ලෝකයේ රජවරුන් වෙනුවෙන් එලන රතු පලස්වලට වඩා දහස් වාරයක් වටිනා ගෞරවයක් බව උන්වහන්සේ අවධාරණය කළහ.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක පසුවුවද, ලාංකිකයන්ගේ හදවත්වල ඇති ශ්‍රද්ධාව සහ කරුණාව ලෝකයේ වෙනත් කිසිදු ධනවත් රටකට සමාන කළ නොහැකි බව උන්වහන්සේ පැවසූහ. කුඩා දරුවාගේ සිට මහලු ජනතාව දක්වා කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව තමන්ට හැකි උපරිමයෙන් දානය පිරිනැමූ ආකාරය උන්වහන්සේ මහත් අගය කිරීමට ලක් කළහ
සාමය සහ කරුණාව ඉගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකු ශ්‍රී ලංකාව දෙස බැලිය යුතු බව උන්වහන්සේ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියහ. හුදෙක් ආගමික වතාවත්වලට පමණක් සීමා නොවී, පීඩාවට පත් වූවෙකු වෙනුවෙන් මාවතක් පුරා කෙසෙල් කොළ අතුරා දිය පොදක් පිරිනැමීමට තරම් උතුම් මිනිස්සු වෙසෙන ඒ දේශය මුළු ලෝකයටම ආදර්ශයක් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
ලාංකිකයන්ගේ ඒ නිහතමානී සිනහව සහ කෙසෙල් කොළ සත්කාරය තම හදවතේ සදාකාලිකව රැඳෙන බව උන්වහන්සේ සිය කතාව නිමා කරමින් පවසා සිටියහ.














