ලෝකයේ බලගතුම රාජ්‍යයක නායකයා ඇතුළු දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රභූන් පිරිසක් වොෂින්ටන් හි පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වෙමින් සිටියහ. ආරක්ෂක අංශවල දැඩි ඇස යොමුව තිබූ එම උත්සවය අතරතුර, කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක ඇතිවූයේ දැඩි නොසන්සුන්තාවයකි. එහිදී වෙඩි තැබීමට උත්සාහ කළ පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් ක්ෂණිකව මැඩපවත්වා අත්අඩංගුවට ගත් අතර, ලෝකයේම අවධානයට ලක්වූ මෙම භයානක සිදුවීමට සම්බන්ධ සැකකරු කවුරුන්ද යන්න පිළිබඳව අනාවරණය වන තොරතුරු කාගේත් මවිතයට හේතුවී තිබේ.
අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සැකකරු පිළිබඳ වැඩිදුර තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. CNN පුවත් සේවයට අනුව, ඔහුගේ ලින්ක්ඩ්ඉන් (LinkedIn) ගිණුම මගින් හෙළිවන්නේ ඔහු ‘C2 Education’ නැමැති උපකාරක පන්ති ආයතනයක අර්ධකාලීන ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති බවයි. පුදුමයට කරුණ නම්, ඔහු 2024 දෙසැම්බර් මාසයේදී එම ආයතනයේ “මාසයේ හොඳම ගුරුවරයා” ලෙසද තේරී පත්ව සිටීමයි. දකුණු කැලිෆෝනියාවේ පදිංචි මෙම පුද්ගලයා 2017 වසරේදී කීර්තිමත් කැලිෆෝනියා තාක්ෂණික ආයතනයෙන් (Caltech) යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර, පසුගිය වසරේදී පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද සම්පූර්ණ කර ඇති, ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත අයෙකි.
ඔහුගේ තොරතුරු තවදුරටත් සොයා බැලීමේදී, මෙම සැකකරු ස්වාධීන පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවෙකු ලෙසද කටයුතු කර ඇති බව වාර්තා වේ. ඔහු විසින් නිර්මාණය කරන ලද ‘Bohrdom’ නමැති පරිගණක ක්‍රීඩාව ප්‍රසිද්ධ වෙළඳපොළට (Steam) ඉදිරිපත් කර ඇති අතර, ඔහු ‘First Law’ නමින් දෙවන පරිගණක ක්‍රීඩාවක් ද නිර්මාණය කරමින් සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉහළ අධ්‍යාපනයක් ලබා, ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගත්, “හොඳම ගුරුවරයා” ලෙස ඇගයීමට ලක්වූ පුද්ගලයෙකු, ධවල මන්දිරයේ ප්‍රභූන් ඉලක්ක කරගත් මෙවැනි බරපතල ප්‍රහාරයකට සැකකරු ලෙස පත්වීම දහසක් ප්‍රශ්න ඉතිරි කරයි. මෙය ලෝකය පුරාම ආරක්ෂාව පිළිබඳ බරපතල කතාබහක් ඇති කර තිබේ.














