27 April 2024
#දේශීය

අනවසර වැඩ හමුවේ පරිසර සංවිධාන – සමාජ මාධ්‍ය නිහඬ ඇයි ? ජනාධිපති

අවිධිමත්  සහ අනවසර ක්‍රියාකාරකම් හමුවේ පරිසර සංවිධාන මෙන්ම සමාජ මාධ්‍යයන් ද නිහඩව සිටීම කණගාටුවට කරුණක් බවත්  රටේ උන්නතිය වෙනුවෙන් නිසි අවබෝධයකින් ආයෝජන අවස්ථාවන්ට සහයවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ  කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමග ඊයේ (17) පස්වරුවේ පැවති හමුවේදීය.

කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතු බවත්  එමෙන්ම  විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද  ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදුන් බවත් වාර්තා වෙයි.

මෝටර් රථ එකලස් කිරීම, ලෝහ, පාවහන් හා සම්භාණ්ඩ, ඇගළුම්, ඖෂධ, කුළු බඩු, විදුලි උපකරණ, දැව සහ රූපලාවන්‍ය නිෂ්පාදකයෝ සහ  කර්මාන්තකරුවෝ  සාකච්ඡාවට එක්ව සිටියහ.

එහිදී නිෂ්පාදනකරුවවන්  සහ ආයෝජකයන්   බදු ගෙවීමේ දී හා රේගුවේ දී මුහුණපාන ගැටලු සහ පරිසර ප්‍රශ්න ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළ අතර  විධිමත් ආකාරයෙන් කර්මාන්ත ඇරඹීමේ දී විවිධ පාර්ශව  වෙතින් මතු කෙරෙන  සෙසු ගැටලු රටේ අභිවෘද්ධියට විශාල බාධාවක් බවටත් සඳහන්ව ඇත.

අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *