27 April 2024
#දේශීය

පාසල් සිසුන් මතින් බේරගන්න – විශේෂ අංකයක් !

පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීම වෙනුවෙන් පාසල් ප්‍රජාව සක්‍රීයව බලගැන්වීමත්, වැරදි අවබෝධයන් මත මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින සිසුන් එයින් මුදවාගනිමින් සියලු පාසල් මතින් නිදහස් පරිශ්‍ර බවට පත්කිරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඒකාබද්ධ විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.

 එහි පළමු අදියර ලෙස ශ්‍රී ලංකාවේ පාසල් අතර වැඩිම මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සිදුවන බවට හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 49ක් ඉලක්ක කරගනිමින් “සුරක්ෂිත හෙට දවසක් ”යන තේමාවෙන් විශේෂ වැඩසටහනක් හඳුන්වාදීම අද (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණ.

එම අවස්ථාව ඇමතු  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ ආශ්‍රිත ව සිදුවන වැරදි පිලිබඳ පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු අනුව, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල පමණක් හෙරොයින්, ගංජා, මත් පෙති, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කරන බවට වාර්තා වී ඇති මුලු සිසුන් සංඛ්‍යාව 2,30,982ක් බව පැවසීය. 

මෙය සෙසු සියලු දිස්ත්‍රික්කවලට සාපේක්ෂ ව ඉතා ඉහළ අගයක් ගන්නා බවත්  2018 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 60,506ක් බවද, ඔවුන් අතර වයස අවුරුදු 18ට අඩු සිසු දරුවන් 3455ක් සිටින බව ද වාර්තා වී තිබෙන බවද ඔහු පැවසීය.

සිසුන්  මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ඔවුන් තුළ ඒ සම්බන්ධව අලෙවිකරුවන් සහ පොළඹවන්නන් විසින් ඇතිකර ඇති දුර්මත බව ද සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මත්ද්‍රව්‍ය භාවිතයෙන් දිගුකාලීන ව නිදි වැරීමට හැකියාව ලැබෙන බව, ධාරණ ශක්තිය වැඩිදියුණු වන බව, සමාජයේ කැපී පෙනීමට හැකිවන බව, ලිංගික ආකර්ශණය දිනාගත හැකිවන බව, ලිංගික ශක්තිය වැඩිවන බව, ආදී කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව විද්‍යාත්මක ව තහවුරු කර ඇති බව ද අවධාරණය කළේය.

තවද මේ සිසුන් ඉලක්ක කරගනිමින් ඔවුන් මත් උවදුරින් බේරාගැනීම වෙනුවෙන් මහා පරිමාණයේ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදිය යුතුව ඇති බව ද සඳහන් කළේය.

පාසල් පරිශ්‍රයන් තුළ හෝ පාසල් ආශ්‍රිත පරිසරයන්හි කිසියම් හෝ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකමක්, වරදක්, සිදුව ඇත්නම් ඒ සම්බන්ධ ව වහාම දැනුම් දීම සඳහා විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදීම ද මෙහි දී සිදුකෙරුණු අතර, ශ්‍රී ලංකා ඩයලොග් ආයතනයේ බස්නාහිර පළාත් අලෙවි කළමනාකාර මංගල අතපත්තු මහතා විසින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා වෙත මෙම නව ක්ෂණික ඇමතුම් අංකය හා ඊට අදාළ පැකේජය අද දින භාරදෙන ලදී. 

මෙම නව ක්ෂණික ඇමතුම් අංකය වන්නේ 0777128128

Leave a comment

Your email address will not be published. Required fields are marked *