27 April 2024
#දේශීය

20 සම්මත වුණොත් දුටුගැමුණුටත් බැරි බව විමල් කියයි

විසිවැනි සංශෝධනය සම්මත වූවාට පසු දුටුගැමුණු මහ රජතුමන් වැනි ශ්‍රේෂ්ඨ නායකයකුට මේ රටේ පාලනය ලැබුණත් ඔහුට කළ හැකි කිසිවක් ඒ වන විට ඉතිරිව පවතින්නේ නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ‘‘බෙදුම්වාදී 20 වැනි සංශෝධනය හකුළා ගනු’’ යන තේමාව යටතේ පසුගියදා නාත්තණ්්ඩිය මහවැව මුද්‍රා දේවී ශාලාවේදී පැවැති ජානිපෙ පුත්තලම් දිසා සභාව විසින් සංවිධානය කළ ජනහමුවක් අමතමින්.

එහිදී මන්ත්‍රිවරයා කියා සිටියේ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවාට පසු ෆෙඩරල් ව්‍යවස්ථාවකින් තොරවම උතුරට ස්වයං පාලනයක් ලැබෙනු ඇති බවයි.

විරවංශ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “ 20 වැනි සංශෝධනය සම්මත වුවහොත් ජනාධිපතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සරල බහුතර ඡන්දයෙන්. ජනාධිපතිවරණය අහෝසි කරලා මේ පත්කරන ජනාධිපතිවරයාට, අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 113කගේ ඡුන්දය පමණයි. මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු අනුර කුමාර දිසානායක තමයි කීවේ, ‘පාර්ලිමේන්තුවේ ඉන්නේ හොඳට විකිණෙන බඩු ටිකක්’ කියලා. දැන් ඒ ‘විකිණෙන බඩු ටිකට’ ජනාධිපතිවරයකු පත් කිරීමේ බලය ලැබුණොත් මොකද වෙන්නේ ? මන්ත‍්‍රීවරු 113ක් මිලදීගත හැකි අයකුට මේ රටේ ජනාධිපති විය හැකියි. අපි හිතමු මාකඳුරේ මධූෂ්ට මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ වුණා කියලා. එයාටත් හොඳට සල්ලි තියෙනවානේ. තාත්ත මැරුණු වෙලාවේ එයා තාත්තාගේ දේහයට හෙලිකොප්ටරයකින් මල් වැසි වැස්සුවානේ. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 113කගේ ඡුන්දයෙන් මාකඳුරේ මධූෂ් මහතාට ද ජනාධිපති ධුරයට පත් වීමේ හැකියාව පවතිනවා.

20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරණය අහෝසි කරන්නේ, රනිල් වික‍්‍රමසිංහට කවදාවත් ජනාධිපතිවරණයකින් ජයගන්න බැරි නිසයි. සිරිසේන මහත්තයාට පොඩි කේක් කෑල්ලක් දෙනවා. ‘ඔයා ඔය පුටුවටම වෙලා පත්තරයක් බලබලා ඉන්න’ කියලා. විධායක බලතලවලින් වැඩි කොටසක් ජනාධිපතිවරණයකින්් දිනන්න බැරි රනිල්ට දෙනවා. ‘රනිල්ට බෑ’ කිව්වේ අපි නොවෙයි මංගල සමරවීර. අද රනිල්ට විතරක් නොවෙයි, මංගලට, සාගලට මේ සියලූදෙනාට ‘බෑ’ කියලා ඔප්පු වෙලා ඉවරයි. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයට දෙන උදව්ව. ජනාධිපතිවරණයෙන් එජාප අපේක්ෂකයෙකුට දිනන්න බැරි නිසා 20 වැනි සංශෝධනය ගෙනැවිත් ජනාධිපතිවරණය අහෝසි කරලා දෙනවා.“

Leave a comment

Your email address will not be published. Required fields are marked *