• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා නම්කිරීම හා ව්‍යවස්ථා පෙරළියකට කැසකැවීමේ යථාව ධර්මිෂ්ට සමාජයේ සිට විමසමු…

29 August 2019
in දේශීය

GR From JR 20190829

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කල් ඇතිව ම ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ වෙනස්කම් ඇතිකිරීමට සමත්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ඒ ඔස්සේ දැඩිව අර්බුදයට ගිය පක්ෂයකි. එහි නායකත්වයේ වෙනසක් සිදුවියයුතු බවටත් අපේක්ෂකත්වය ඉල්ලා සටන් වැදීමත් දැන් දැන් වීදි සටන් දක්වා උත්සන්නව පවතී.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයේ සිටිය දීම, තම පක්ෂයේ වත්මන් නායකත්වය ට අභියෝගයක් වෙමින් ප්‍රකාශ කිරීමෙන් නොනැවතී, ප්‍රාදේශීය මට්ටමේ රැස්වීම් පවත්වමින්, ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය තමා විසින් ම ප්‍රකාශයට පත්කරගන්නා තැනකට ද පත්වසිටී. එය පක්ෂයේ හා පුද්ගල විනය ප්‍රශ්නකරන තැනක් දක්වා වර්ධිත ය.

ඊට සමගාමීව එම පක්ෂයේ ප්‍රාදේශීය නායකත්වයන් ද පිල් බෙදී විවිධ ප්‍රකාශ කරමින් නායකත්වය හා සජිත් ප්‍රේමදාස මහතා ද අභියෝගයට ලක් කරමින් සිටී. මේ සියල්ල අතර ජනතා විමුක්ති පෙරමුණ ද තවත් වටයකින් බල අරගලයේ පංගුකාරීත්වය ප්‍රදර්ශනය කරමින් සිටීම ද විශේෂිත ය.

ඉතා කෙටි කාලයක් තුල පිහිටුවාගත් දේශපාලන ව්‍යාපාරයක්, ශ්‍රී ලංකා දේශපාලන භූමියේ පිමි ගණනාවක් ඉදිරියට පනිමින් දැවැන්ත ජයග්‍රහණ අත්කරගත් පසුබිමක දී තම ජනාධිපති අපේක්ෂකයා ද නම්කිරීම සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවේ. අවලාද අපවාද රැසක් ඔස්සේ තමාගෙන් ගිලිහුණු හෝ මගහැරුණු හෝ යම් අතපසුවීමක් හෝ නිවැරදිකරනු වස් දේශපාලනික යුතුකමක් ඉටුකිරීමට ඉටාගත් නිසා ම දෝ ඊට නායකත්වය දෙන්නට සමත් අපූරු චරිතයක් ද එම ව්‍යාපාරයට සංවිධායක නායකත්වය දෙමින් සිටී. බැසිල් රාජපක්ෂ එම අපූරු නායකත්වය වන අතර, එම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් වෙයි.

සාම්ප්‍රදායික දේශපාලන නාමයන් හා පක්ෂ ගණනාවක් අභිබවා ඉතා කෙටිකාලයකින් සුවිසල් ජයග්‍රහණ හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව කිසිවිටෙකත් අවතක්සේරුකළ නොහැක. සැබැවින්ම ඊට හිමි වූ නායකත්වය ද සංවිධාන ඤාණය ද එසේම ය. යමෙක් ඒ ප්‍රපංචයන් දෙක ම යම්කිසි ආකාරයකට අවතක්සේරු හෝ හෑල්ලු හෝ කරන්නේ නම් එය දේශපාලන කුහකමක් නිසා මිස බුද්ධිමත් දේශපාලනික විග්‍රහයක් හොබවන්නෙක් ලෙස නොවේ.

එවන් තත්ත්වයක් තුල, ශ්‍රී ලංකාවේ දේශපාලනික බිම මේවනවිට පෙර නොවූ විරූ අද්දැකීම් ලබාගනිමින් කල්මරමින් සිටී. මේ කල්වැරීම සුබදායී හෙටක් ශ්‍රී ලංකා ජාතියට හිමිකරදීමට සමත්වන්නේ නම් පමණක් අපි අපේ දේශපාලනික බව ලොව හමුවේ ආදර්ශයට පාත්‍රවනු ඇත. එසේ සිදුවන්නට යහපත් කල්ක්‍රියාවෙන් ඉදිරිය දැකීම පමණක් නොව යහපත් නායකත්වයක් වෙත රට භාරදීම ද සිදුකළ යුතුව ඇත. කුලල්කාගන්නා දේශපාල ව්‍යාපාරතුලින් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක.

හිසරදරයට කොට්ට මාරු කරන්නා සේ හුදු රැවටිල්ලේ පදින ඔන්ච්ල්ලාවක එල්ලී පත්කරන අපේක්ෂකයින් ලවා මේ රටට සුගතියක් අත්කර දිය නොහැකි බව ඒ අතරින් වටහාගත යුතු ය. එය පක්ෂ නායක කාරකාදීන්ට මෙන්ම ඡන්දදායකයින් ද මනාව වටහාගත් යුතු තත්ත්වයකි. සබුද්ධික හා සදේශපාලනික පුරවැසියෙක් ලෙස මේ තත්ත්වය වටහාගැනීම ශ්‍රී ලාංකේය ඡන්දදායකයා සමත්වේද යන පැනය බාහිරව විමසන්නෙකුට නැගිය හැකි ප්‍රශ්නයකි. රටක් ලෙස මේ මොහොතේ අත්දකින කටුක යථාව තේරුම් ගැනීමට උදාහරණ තවත් අනවශ්‍ය පසුබිම දී එවන් ඡන්දදායක බහුතරයක් නැතැයි කීමට මේ භූමියේ සවිඥානිකව දිවි ගෙවන්නෙකු ට නොහැකි ය.

ඊට හොඳම උදාහරණය අවසන්වරට පැවැත්වූ පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයයි. ඒ හේතුවෙන් ම ශ්‍රි ලාංකීය මැතිවරණ සිතියම අහේතුකව හකුළාදැමෙමින් පවතී. මේ තත්ත්වය ද රටේ පුරවැසි ප්‍රජාව මැනැවින් ග්‍රහණයට ගනිමින් සිටීම ද ඊට සුදුසු තත්ත්වයන් ආණ්ඩු පක්ෂය විසින් ම නිර්මාණයකර දී තිබීම ද විමසුම වැදගත් ය.‍ මෙහි අලුත්ම තත්ත්වය වන්නේ ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම පිණිස පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ලෙස ආණ්ඩුපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමයි. ‍

කෙසේවත් කල්දැමිය නොහැකි ව්‍යවස්ථාමය එළැඹුමක් ලෙස සමාජය මුවවිට තිබෙන ජනාධිපතිවරණය කුමන තත්ත්වයක් මත හෝ මගහැර සිටීමට ආණ්ඩුපක්ෂයක් දරන උත්සාහයක් ලෙස මෙය ද ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලියැවෙයි.

විධායක ජනාධිපතිධුරය හඳුන්වාදීමෙන් අනතුරුව පැවැත්වූ සෑම මැතිවරණයක් ම එවකට රාජ්‍ය පාලනයේ සිටි පක්ෂය විසින් නිසිකලට හා කල් පිරීමටත් මත්තෙන් පවත්වා ඇත. ඒ තරමට රටේ ඡන්දදායකයින් පිළිබඳව ඒ ඒ පාලකයා යම් විශ්වාසයකින් පසුවීම ඊට හේතුව ලෙස සරලව හඳුනාගත හැකි ය. වත්මන් පාලනයට රටේ ඡන්දදායකයා විශ්වාස නැත හෙවත් පරාජය ස්ථිර යැයි උපකල්පනය, මෙසේ… කෙක්කෙන් හෝ කොක්කෙන් ජනාධිපතිවරණය නොපැවැත්වීමට දරන උත්සාහයෙන් ගම්‍ය වෙයි.‍මේ සියල්ල ට මේතරම් ඉක්මනින් පාර කැපීමට හේතුව වී ඇත්තේ කෙටි කලක් තුල සුවිසල් ජයග්‍රහණ අත්කරගත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්ෂකයා කල්වේලා ඇතිව ම ජනගතකිරීම ය.

1977 ජුලි මස පැවැත් වූ මහා මැතිවරණයේ දී කේවල ආසන ක්‍රමයට ව්‍යවස්ථාදායකයේ හයෙන් පහක බලයකට හිමිකම් කී එක්සත් ජාතික පක්ෂය ට ඒ වනවිට කිසිවෙකුත් අලුත් ව්‍යවස්ථාවක් සඳහා වරමක් ලබා නොදුන්නේ ය. එහෙත් ශ්‍රී ලංකාවේ බිහිවූ කපටි හා විනාශකාරී දේශපාලකයෙක් ලෙස නම් දරා සිටින ජූනියස් රිඩඩ් ජයවර්ධන විසින්, තමන්ගේ යටි හිතේ කැකෑරෙමින් තිබූ ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සම්මතකරගැනීම ට හයෙන් පහක බලය උපයෝගී කරගත්තේ ය.

ඉන් වසරක් ඉක්මයාමටත් මත්තෙන් තම සිතැඟි පරිදි, එවකට සිටි අග විනිසුරු නෙවිල් සමරකෝන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. එතකින් නොනැවතුණු ඔහු, තමාට ඇති බලය ඔස්සේ “කළ නොහැක්කේ පිරිමියෙක් ගැහැනියක් කිරීමත් – ගැහැනියක් පිරිමියෙක් කිරීමත් පමණකි” යි පාරම් බෑවේ ය. සදාකල් එක්සත් ජාතික පක්ෂයට ම පමණක් බලය ඩැහැගැනීමේ සූත්‍රයක් පිළීබඳ සිහිනයෙන් ව්‍යවස්ථා සංශෝධන ගෙන ආවේ ය. මේ සියලු කරුණු රටේ සංවර්ධනය හෙවත් සමාජ ප්‍රගමනයට දායකකරගන්නවා වෙනුවට හුදු පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමට යොදාගත්තේ ය. අවසානයේ විටින් විට රට දරුණු භීෂණයක ගිලී ගියේ ය.

සදාකල් තම පක්ෂයට පාලන බලය හිමිකරදීමට කැස කැවූ ජේආර් ගේ පාලන කාලය නිමාවූයේ රට ම මිනී කුණු ගඳින් හා මිනී පුළුටුවලින් ගහන වූ විසාලාවක සිරි ලොව හමුවේ ප්‍රදර්ශනය කරවමිනි. ජේආර්ගෙන් පසුව බලයට පැමැණි රණසිංහ ප්‍රේමදාස ගේ පාලන කාලය එහි උච්ච අවස්ථාව ප්‍රති නිර්මාණය කළේ, “රට දෙකොන විලක්කුවක්” බව මුළු ලොවට ම ඇසෙන සේ ප්‍රකාශ කරමිනි. මේ සියලු කරුණු ඉතා සුමට ලෙස සමාජය වටහාගන්නේ නම්, ඒ බලය උදෙසා හා බලය පවත්වාගැනීම පිණිස ගත් අධම හා අදමිටු ක්‍රියාවන් ලෙස ය. ඉන් මිදීමට හෘදය සාක්ෂියක් ඇති කිසිදු එක්සත් ජාතික පාක්ෂිකයෙක් ට නොහැකිවනු ඇත. මන්දයත්, 1977 දී එක්සත් ජාතික පක්ෂය පාලන බලය ලබා ගත්තේ “ධර්මිෂ්ට සමාජයක්” ඇතිකිරීම තේමා පාඨය ලෙස යොදාගනිමිනි.

ධර්මිෂ්ට පාලනය කෙසේ වෙතත්, රණසිංහ ප්‍රේමදාස ම කී ආකාරය ට අවසානයේ රට දෙකොන ගිනිගත් විලක්කුවක් වි තිබුණි. යම් පමණක සංවෘත ආර්ථික රටාවක, සරල දිවි පෙවතක් ගෙවූ ශ්‍රී ලාංකිකයා, විවිධවූත්, තමන්ට දරාගත නොහැකි තරමේත් උයෝගීතාවන්වෙත හුරුකරවූ, හැල්මේ දුවවන විවෘත ආර්ථික රටාවක් උත්තරාරෝපණයෙන් හෙම්බත් කළේ ය. හෙම්බත්කිරීමකට වඩා ඒ තත්ත්වය නරුම වහල් මානසිකත්වයකින් ඔද්දල් කළ මිනිසෙක් බිහි කළේ ය.

එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහුණු පාලන තන්ත්‍ර කිහිපයක් ම ගෙවා දැමුව ද, එක්සත් ජාතික පක්ෂය විසින් මුල් ඇද්ද වූ ක්‍රමෝපායන්ගෙන් ලෙහෙසියෙන් හෝ පහසුවෙන් හෝ මිදී කටයුතු කිරීමට ඒ කිසිම පාලන තන්ත්‍රයකට නොහැකි වී ය. ජේආර් ගෙ ගැට තවමත් ලිහාගන්නට බැරි යැයි මතයක් සමාජය තුල වීමෙන් ම එය සනාත වෙයි. එහෙත් යම් යම් සාධනීය වෙනස්කම් කිරීමට ඔවුන් උත්සාහ නොදැරී යැයි කිව නොහැකි ය. 1994 දී බලයට පත්වන චන්ද්‍රිකා කුමාරතුංග “විවෘත ආර්ථිකය ට මානුෂික මුහුණුවරක්” දෙනවා යැයි කීවේ ය. එවකට සිටි වාමාංශික දේශපාලන න්‍යායාචාරීන් එය උපහාසයෙන් බැහැර කළේ “යකා ට වෙස් මුහුණු පලන්ඳනවා” වැනි යැයි කියමිනි. ජේආර්ගේ සාමාජ ක්‍රමය මුල් ඇද්ද වූ තරම කියතොත්, රාජ්‍ය ව්‍යවසායන් රැසක් කුණුකොල්ලයට පුද්ගලික අංශය සතු කිරීමට චන්ද්‍රිකාට කිසිම හිරිකියක් ඇති නොවී ය. සත්‍යය එයයි.

එවන් තත්ත්වයකට පාර කැපූ හා එය යම් පමණකටවත් වෙනස්කිරීමට උත්සාහයක්වත් නොදැරූ නායකයින් තවදුරටත් බලය ඉල්ලීම කෙතරම් විහිළුවක්දැයි සිතීමට ඡන්දදායකයා උගත් විය යුතු ය. ඒ උගත් බව හා පරිචය මැතිවරණයක දී බුද්ධිමත්ව ප්‍රයෝජනයට ගත යුතු ය. එළැඹෙන කුමන මැතිවරණයක වුව අපේක්ෂක පොරය යටින් ඇති යථාව එය ලෙස සමස්ත සමාජය ම හඳුනාගත යුතු ය.

–

* දේශපාලන ලියුම්කරු

Post Views: 9
Previous Post

නැගෙනහිර සංවර්ධනයට රුපියල් මිලියන 7,346 ක්

Next Post

DLB සිව්වන වෛද්‍ය කදවුර කුරුණෑගල නගරයේ

editor

editor

Next Post

DLB සිව්වන වෛද්‍ය කදවුර කුරුණෑගල නගරයේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved