26 July 2024
#දේශීය

පොහොට්ටුවේ හොඳ සෙල්ලම් ගැන ඇමැති සජිත් කියයි

පොහොට්ටුව ඇතුළේ දැන් හොඳ හොඳ සෙල්ලම් සිදු වන බවත් 2020 දී මොකටද සැරසෙන්නේ කියා පොහොට්ටුවේ බුද්ධිමත් පිරිසකට දැන් තේරී තිබෙන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්පාර දිස්ත්‍රික්කයේ දමන, ජයන්තිපුර ඉදි වු බියෝවැඩිගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “2020 දීත් රටේ අයිතිය, භූමියේ අයිතිය, රාජ්‍යත්වයේ අයිතිය මෙන්ම ජනපතිකම හා අගමැතිකම එක් පවුලකට ලබා ගන්නට සුදානම් වන බව අද ඔවුන්ට තේරී තිබෙනවා. අද ඔවුන් එළිපිට ප්‍රශ්න කරනවා. ජනාධිපති, අගමැති වෙන්නට පුළුවන් රාජපක්ෂලට පමණද කියා ඔරිජිනල් ශ්‍රී ලංකා කාරයෙක් වන කුමාර වෙල්ගම හිටපු ඇමතිතුමාත් දැන් ඒ ගැන ප්‍රශ්න කරනවා. එක් පවුලකට පමණක් රටේ අයිතිය සින්නක්කරව ලබා දුන්නා නම් දිවංගත රණසිංහ ප්‍රේමදාස මාගේ පියාණන්ට නාගරික මන්ත්‍රීකමේ සිට ජනාධිපතිකම දක්වා එන්නට පුළුවන්ද? හැකියාව, දක්ෂතාවය, කැපවීම, කඩිසරකම හා අධිෂ්ඨානය තිබෙනවා නම් ගමේ සිටින අසරණ දූ දරුවන්ටත් මන්ත්‍රී, අගමැති, ජනාධිපති වන්නට පුළුවන්. ඒ අයටත් සිහින මවන්නට පුළුවන්. නමුත් කවමදාකවත් පොහොට්ටුවේ යුගයක් තුළ එය ඉටු කර ගන්නට බැහැ. පොහොට්ටුවේ කුමාර වෙල්ගම වැනි නායකයින් අද එළිපිට ඒ ගැන ප්‍රශ්න කරන්නේ මේ නිසා තමයි. රටේ නායකත්වය ලබා දීම පුද්ගලයෙකුගේ වාසගමින් තීරණය කරන්නට හොඳ නැහැ.
මගේ පියා හිටපු ජනාධිපති මෙන්ම හිටපු අගමැති. මගේ පියා ජනාධිපති හා අගමැති වූ පමණින් මට රටේ නායකත්වයට උරුමයක් නැහැ. මා එයට සුදුසු නම්, මට හැකියාව තිබේ නම්, පොඩි මිනිසා වෙනුවෙන් මහන්සි වෙනවා නම්, එවිට එය ජනතාවට තීන්දු කරන්නට පුළුවන්. දේශපාලනය තුළ අප ගෙදර යැවීම හෝ දිනවීම තීරණය කිරීම රටේ ජනතාව සතුයි. එය තීරණය කිරීමේදී සොයා බලන්න ඕනෑ හැකියාව, දක්ෂතාවය මිසක්, පවුල් පසුබිම හෝ මවගේ පියාගේ නාමය, වාසගම නොවෙයි. ප්‍රධාන තැන ලබා දිය යුත්තේ හැකියාව, දක්ෂතාවය හා කැපවීමටයි. රටේ නායකත්වය තීරණය කළ යුතු මිනුම් දඩු මේවායි. රටේ රාජ්‍ය බලය එක පවුල් පරපුරකට පමණක් හිමි වී තිබුණානම් අද මෛත්‍රීපාල සිරිසේන නැමැති ගොවි පවුලක උපත ලැබූ කෙනෙකුට රටේ විධායක ජනාධිපති වන්නට බැහැ. සාමාන්‍ය පුද්ගලයෙකුට පොඩිම තැන සිට රටේ ඉහළම තැනට යන්නට ශක්තිය ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *