27 July 2024
#දේශීය

ලෙනාඩ් වුල්ෆ් වගේ පරිපාලන නිලධාරින් දැනටත් ඉන්න බව අගමැති කියයි

ලොව සෑම රටක්ම ඵලදායීතාවය කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරියට පැමිණෙ බවත් ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය හා පුද්ගලික අංශවල නිෂ්පාදනය, තරගකාරීත්වය සහ ඵලදායීතාවය වැඩි කළ යුතු බවත්, ඒ අංශ දියුණු නොකර රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 26 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවය අමතමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටට ලැබෙන ආයෝජන වැඩි කිරීමට හා රටේ නිෂ්පාදන අපනයනය වැඩි කිරීමටත් කටයුතු කරන බවයි.

එසේම බිම් මට්ටම දියුණු කිරීම, ගෝලීය වෙළෙඳපොළට පිවිසීම යන කටයුතු දෙකම සාර්ථකව ඉටු කර ගැනීම පරිපාලන සේවයේ ප්‍රධාන අරමුණ වන බව ද හෙතෙම පැවසිය.

එකල ලංකාවේ සිවිල් සේවකයෙක් වූ ලෙනාඩ් වුල්ෆ් පිළිබඳව එංගලන්තයේ පළ වූ ලිපියක් තමා පසුගිය දා කියවු බවත් එතුමා පරිපාලනයට වගේම සාහිත්‍යයටත් දක්‍ෂතා දැක්වූ නිලධාරියෙක් වන අතරම එවැනි නිලධාරීන් අපේ රාජ්‍ය සේවයේ දැනටත් සිටිනවා යැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ දක්‍ෂතාවයන් ගෙන් අප ප්‍රයෝජන ගත යුතු බවත් ඒ ආකාරයට අපි ඉදිරියට යනවා නම් අපේ ඉදිරි ගමන නතර කිරීමට කිසිවෙකුට නොහැකි බව අවසන් වශයෙන් කිව යුතු යැයි අග්‍රාමාත්‍යවරයා අනාවරණ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න සහ ඵලදායිතා සම්මානලාභී ආයතනයන්හි නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *