27 April 2024
#ව්‍යාපාර

අනුරාධපුරයේදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය උත්කර්ශවත් අන්දමින් ආරම්භ වේ

රටපුරා සිටින කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දිරි ගැන්වීමත් නව ව්‍යවසායකයන් බිහි කිරීමත් අරමුණු කරගෙන මුදල් අමාත්‍යාංශය ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ දෙවන ප්‍රදර්ශනය අද (24) උදෑසන අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් විවෘත කෙරිණි.

කලාප 11 ක් යටතේ ජූලි 24 වන දින සිට 27 වන දින දක්වා උදෑසන 10.00 සිට රාත්‍රී 12.00 දක්වා සිව් දිනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි 500ක් පමණ පවතී.

ශ්‍රී ලංකාව තුළ රැකියා දසලක්ෂයක් උත්පාදනය කිරීම ඉලක්ක කරගෙන ආරම්භ කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් 20,000ක් පමණ බිහි කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහන යටතේ ආරම්භයේ සිට මේ වන තෙක් රුපියල් මිලියන 88,152.2 ක් වටිනා ණය ලබා දී ඇති අතර, එයින් රුපියල් මිලියන 55,680 ක ම ණය ලබාදී ඇත්තේ‍ ව්‍යවසායකයන් සඳහා වීම විශේෂත්වයකි.

පසුගිය වසරේ දී පමණක් පුද්ගලයින් 39,000කට මෙම වැඩසටහන යටතේ ණය ලබාදී ඇති අතර, මෙම වසරේදී එය තවත් වර්ධනය කරමින් වැඩි පිරිසකට ණය ලබාදීම අපේක්ෂිතය. ඒ සඳහා රුපියල් මිලියන 6,100 ක් ලබාගන්නා ණය වෙනුවෙන් පොලී ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබේ. පසුගිය වසරේ පොලී ගෙවීම සඳහා වෙන්කර තිබුණේ රුපියල් මිලියන 5,000කි.
මේ සියලුම ණය කිසිදු දේශපාලන භේදයකින් තොරව රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් පොලි සහන යටතේ ලබාදීම විශේෂත්වයකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ට සහ ව්‍යවසායකයින්ට අවශ්‍ය දැනුම, අවබෝධය, මාර්ගෝපදේශය, පුහුණුව සහ මූල්‍ය පහසුකම් මෙම ප්‍රදර්ශන භූමියෙන් ලබා ගැනීමට කටයුතු යොදා ඇති අතර ඉන් උපරිම ප්‍රතිඵල ලබා ගන්නා ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *