ඉරානයට එරෙහිව අමෙරිකානු නාවික හමුදාව දියත් කර ඇති දැඩි සම්බාධක පියවර හරහා එරටට දරාගත නොහැකි ආර්ථික පීඩනයක් එල්ල කර, ඒ හරහා හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට සහ ඔවුන්ගේ න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැර දැමීමට බල කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) පුවත් සේවය වාර්තා කරයි.
ඉරානයේ බොරතෙල් අපනයනය සම්පූර්ණයෙන්ම පාහේ නතර වී ඇති අතර එමඟින් එරටට ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගය අහිමි වී තිබේ. තෙල් ගබඩා කිරීමට ඇති ඉඩකඩ සීමා වීම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ එරට තෙල් ළිං වසා දැමීමට පවා සිදුවිය හැකි බවත්, එය වසර ගණනාවක නිෂ්පාදනයට හානිකර විය හැකි ඉතා පිරිවැය අධික ක්‍රියාවක් බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ඉරානය මෙම තත්ත්වය හමුවේ වොෂින්ටනයේ කොන්දේසිවලට අවනත වනු ඇති බව ට්‍රම්ප් පරිපාලනයේ අපේක්ෂාවයි.
මෙම ආර්ථික යුද්ධය කොතෙක් දුරට සාර්ථක වේද යන්න මත ගෝලීය බලශක්ති වෙළඳපොළේ සහ මැදපෙරදිග කලාපයේ ඉදිරි ස්ථාවරත්වය තීරණය වනු ඇත.














