27 April 2024
#සංවර්ධන

ගෙවල් දෙන්නේ පැල්පත්වාසී දුගීන්ට පමණයි – ඇමති පාඨලි

දේශපාලන පදනම මත හෝ හිතවත්කම් මත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙන් ඉදිකරන කිසිඳු නිවසක් තමා ලබා නොදෙන බවත් අපගේ නිවෙස් ලබාදීමේ පදනම පැල්පත්වාසී දුගී බව පමණක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ දේශපාලනඥයින් නිර්දේශ කරන පුද්ගලයින්ට ද නිවාස ලබානොදෙන බවයි.

එහි වැඩිදුරටත් දක්වා තිබුණේ, අපගේ නිවෙස් ලබාදීමේ පදනම පැල්පත්වාසී දුගී බව පමණයි. මා කිසි විටෙකත් දේශපාලන හිතවත්කම්වලට නිවාස ලබාදෙන්නේ නැත. තවද දේශපාලනඥයින් නිර්දේශ කරන පුද්ගලයින්ට ද නිවාස ලබාදෙන්නේ නැත. මේ සඳහා සමහර දේශපාලනඥයින් අකමැති ය. නමුත් අපේ ගමන තිරසාරය, විනිවිද ය. කිසිඳු විටෙක බිය වන්නේ ද නැත. නගරයේ පැල්පත් ගැටළුව විසඳීමට තිර අදිටනින් යුතුව අපි කටයුතු කරනවා. කිසිඳු තර්ජනයකට අපි පසුබට නොවන බව ද සඳහන් කළ යුතුමයි. නිවෙස් ලබා දෙන්නේ පැල්පත්වාසී දුගීන්ට පමණක් බව මා නැවත නැවතත් අවධාරණය කරමි.

මේ වන විටත් අප විසින් නිවාස ලබාදුන් ජනාවාසයන්ගේ තොරතුරු පහත පරිදි වේ.

මාළිඟාවත්ත ලක්සෙත සෙවණ නිවාස සංකීර්ණයෙන් නිවාස 484 ක් ලබා දුන් අතර, එය ලබා දෙනු ලැබුවේ ඇපල් වත්ත සහ ස්ටේඩියම් වත්ත ජනාවාසයන්හි පදිංචිව සිටි පැල්පත්වාසී දුගීන්ට ය. මාළිඟාවත්ත ප‍්‍රදීපා මාවතේ සියසෙත සෙවණ නිවාස සංකීර්ණයෙන් නිවාස 266 ක් ලබාදුන්නේ රාජගිරිය වේලූපුල්ල වත්ත ජනාවාසය, පංචිකාවත්ත අබේසිංහාරාම ජනාවාසය, කොල්ලූපිටිය කූපස් ලේන් ජනාවාසය, ටවර් ෆ්ලැට් ජනාවාසය යන ජනාවාසයන් හි දුගීන්ට ය. බ්ලූමෙන්ඩල් ජයමග සෙවණ නිවාස 68 අප විසින් ලබා දෙනු ලැබුවේ බ්ලූමෙන්ඩල් 87 වත්ත ජනාවාසයේ පැල්පත්වාසී දුගීන්ටය. එමෙන්ම ෆර්ගියුෂන් පාරේ නිවාස 254 කින් ඉදි වූ මුවදොර උයන නිවාස සංකීර්ණයේ, ෆර්ගියුෂන් පාර 219 වත්තේ දුගීන්ට ලබා දෙන ලදි. එමෙන්ම නිවාස 792 කින් සමන්විත ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ නිවාස අප ලබාදෙන ලද්දේ සේද වත්ත, වදුල්ලවත්ත, වොක්ෂෝල්වීදිය යන ජනාවාසයන් පැල්පත්වාසී දුගීන්ටය. තවද මීතොටමුල්ල කුණු කන්දෙන් අවතැන්වූවන් සඳහා ද මෙම නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දුනි. කොළඹ 07 තාරවත්ත, මරදාන මව්ලානාවත්ත, ස්ටේඩියම්ගම ඉතිරි කොටස සහ අබේසිංහාරාම ඉතිරි කොටස යන ජනාවාසයන් හි පැල්පත්වාසී දුගීන් සඳහා දෙමටගොඩ සියපත් සෙවණෙන් නිවාස ලබාදුනි. එහි නිවාස සංඛ්‍යාව 710 කි. මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයෙන් නිවාස 940 ක් ලබා දුන් අතර වොක්ෂොල්වීදිය 87 වත්ත ජනාවාසය, වොක්ෂොල් වීදිය 175 වත්ත ජනාවාසය, මාළිඟාවත්ත සෙබස්තියන් ඇල ඉවුර ජනාවාසය, බ්ලූමෙන්ඩල් කීර කොටුව වත්ත ජනාවාසය, බ්ලූමෙන්ඩල් මහවත්ත යන ජනාවාසයන් හි පදිංචි පැල්පත්වාසී දුගීන්ට එම නිවාස ලබාදෙන ලදි. සත්හිරු සෙවණ නිවාස සංකීර්ණයෙන් නිවාස 672 ක් 233 වත්ත, මාදම්පිටිය ක‍්‍රීඩාංගනය අසළ ජනාවාසය, බ්ලූමෙන්ඩල් මහවත්ත ජනාවාසයේ ඉතිරි කොටස සඳහා ද නිවාස සංවර්ධන අධිකාරියට අයත් කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද නිවාස ව්‍යාපෘතියේ කඩා වැටීමට ආසන්න නිවාස 150 ක් සඳහා ද මෙමගින් නිවාස ලබාදේ. ඊට අමතරව දෙමටගොඩ සිට නාරාහේන්පිට දක්වා දුම්රිය පාර දෙපස පදිංචි දුගීන් සඳහා ද මාළිඟාවත්තේ ඉදිකර ඇති ලක්හිරු සෙවණ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස 576 ක් ලබාදීම සිදු කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *