යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (09) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී රාජ්‍ය පරිපාලනය සහ දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන කටයුතු පිළිබඳ පුළුල් කරුණු ඉදිරිපත් කළේය.
දිස්ත්‍රික් මට්ටමින් මතුවන හදිසි යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ සඳහා මධ්‍යම රජයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් තොරව කටයුතු කිරීමට හැකිවන පරිදි, ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම ගංවතුර සහ නායයෑම් වැනි ආපදා අවදානම් සහිත ප්‍රදේශවල නැවත පදිංචි වීමට ඉඩ නොදීමටත්, එවැනි භූමි සඳහා විදුලිය සහ ජලය වැනි මූලික පහසුකම් ලබා නොදීමට පියවර ගන්නා ලෙසත් ඔහු ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.
මීට අමතරව දේශපාලන වුවමනා මත අතරමග අතහැර දමා ඇති අවිධිමත් නිවාස ඉදිකිරීම් පිළිබඳ කඩිනම් සමීක්ෂණයක් සිදුකර, අවශ්‍ය ව්‍යාපෘති සඳහා පමණක් නිවාස ආධාර ලබා දීමටත්, මධ්‍යම කඳුකරයේ සංවේදී භූමිය කළමනාකරණයට විශේෂ අධිකාරියක් පිහිටුවීමටත් රජය පියවර ගෙන ඇත. ගුණාත්මක රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ඵලදායීතාවෙන් තොර ආයතන ඉවත් කිරීමට සහ සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල පුරප්පාඩු පිරවීමට පියවර ගෙන ඇති බවත්, බන්ධනාගාර තදබදයට හේතු වී ඇති රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය මගහරවා ගැනීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු යොදා ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. හමුදා කඳවුරු භාරයේ පවතින ඉඩම් ජනතාවට නිදහස් කිරීම සහ ආයෝජන සඳහා ඉඩම් වෙන් කිරීමේදී වන සංරක්ෂණ හා වනජීවී කලාප ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
















