චීනයේ නාගරික ජීවිතය තරුණ තරුණියන්ට, දරුවන්ට සහ පවුල්වලට වඩාත් හිතකාමී අයුරින් සකස් කිරීම සඳහා නාගරික සැලසුම්කරණය, නිවාස, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන අංශ ඒකාබද්ධ කරමින් නව යෝජනාවලියක් එරට රජය විසින් ඉදිරිපත් කර තිබේ. දෙපාර්තමේන්තු 15ක මැදිහත් වීමෙන් බදාදා නිකුත් කරන ලද මෙම සැලසුම මගින් “තරුණ සංවර්ධනය ඉලක්ක කරගත් නගර” බිහිකිරීම අරමුණු කෙරේ. 2026 සිට 2030 දක්වා කාලය තුළ “දරුවන් බිහිකිරීමට හිතකාමී සමාජයක්” ගොඩනැගීමට බීජිං පාලනය ගෙන ඇති තීරණයට සමගාමීව මෙම පියවර ගෙන ඇති අතර, රැකියා උත්පාදනය, නිවාස පහසුකම් සහ පවුල් සඳහා අවශ්‍ය පොදු සේවා පුළුල් කිරීම මෙහි ප්‍රධාන අංගයකි.
චීනයේ ජනගහනය අඛණ්ඩව සිව්වන වසරටත් පහත වැටී ඇති අතර, 2025 වසරේදී උපත් සංඛ්‍යාව මිලියන 7.92ක් වැනි වාර්තාගත අවම මට්ටමකට ඇද වැටී තිබේ. මෙම ජනගහන අර්බුදය පාලනය කිරීම සඳහා ළමා සුරැකුම් සහනාධාර පුළුල් කිරීම, පොදු ස්ථානවල මව්වරුන් සහ දරුවන් සඳහා පහසුකම් වැඩි කිරීම, දරු ප්‍රසූතියෙන් පසු ලබාදෙන සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ සංක්‍රමණික සේවකයන්ගේ දරුවන්ට සමාන අධ්‍යාපන අයිතීන් ලබාදීම වැනි ක්‍රියාමාර්ග මෙම නව සැලසුමට ඇතුළත් වේ. මෙමගින් තරුණ පරපුරට විවාහ වීමට සහ දරුවන් ඇති දැඩි කිරීමට පවතින සමාජීය හා ආර්ථික බාධා අවම කිරීමට චීන බලධාරීන් බලාපොරොත්තු වෙයි.













