27 April 2024
#දේශීය

පටු දේශපාලන වාසි ගැන නොසිතා රට ගැන හිතන්න – මන්ත්‍රී ඉන්දික

පක්ෂය බලයට ගෙන ඒම, තමාගේ කඳවුර ශක්තිමත් කිරීම වැනි පටු සීමාවලින් මිදී රට ගැන සිතා, රටේ අනාගතය වෙනුවෙන් සිතා කටයුතු කිරීම සමගි ජනබලවේගයේ ප්‍රධාන වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා, “මේ සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් මේ වෙද්දි පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වෙලා තිබෙනවා ජනාධිපතිතුමාගේ රාජාසන කතාවත් සමඟ. අපි දකිනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, කණ්ඩායම් ඇතුළු සියලු දෙනා අදහස් ප්‍රකාශ කරනවා. ඒ හැම අදහසකම සමගි ජන බලවේගය පැහැදිලිව යම් යම් කොන්දේසි මාලාවන් ගැන කියනවා. අපි ජනාධිපතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත් අපි පක්ෂයක් විදිහට කියනවා මේ අවස්ථාවේ කොන්දේසි දාන කාලයක් නොවන බවයි. සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කළ පසු විපක්ෂය මේ අවස්ථාවේ දඩමිමා කරගෙන කල් මරමින් සිටිනවා. අපි පක්ෂයක් හැටියට කියනවා දැන් රටට වැඩ කරන්න ඕන වේලාවක්. නැවත හිස ඔසවන කොවිඩ් මර්ධනය කරන්නත් ඕන අවස්ථාවක්. ලෝකයේ රටවල් මේ විදිහට ආර්ථික, සමාජීයම අස්ථාවරයකට පත් වෙච්ච අවස්ථාවක මෙවැනි එකමුතුකම් වලින් ඒ රටවල් ගොඩනැගිලා තිබෙනවා. ඒ නිසා අපි 2/3 බලයක් අරගෙන ආපු අපි බලය නොපෙන්වා අපි නිහතමානිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්තමාන ජනාධිපතිතුමා සමඟ කටයුතු කරනවා නම් මම හිතන්නේ අනෙක් පක්ෂවලට මහ ලොකු දෙයක් නොවේ. ඒ නිසා මේ අවස්ථාවේ තමන්ගේ ජයග්‍රහණය, මැතිවරණය ගැන හිතන්නේ නැතිව මේ වෙලාවේ මේ රටේ දුක්විදලා මහන්සිවෙන ගොවියාට, කම්කරුවාට, ක්ෂේත්‍ර ගණානාවක් කඩා වැටිලා අතරමං වෙලා සිටින ජනතාවට එදාවේල හොයාගෙන තමන්ගේ අතමිට සරුකරගෙන බලාපොරොත්තු වෙච්ච තැනට ජනතාවට යන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න සහයෝගය ලබා දෙන්න. ඒ නිසා ජනාධිපතිතුමාට අවශ්‍ය කරන සහය ලබා දෙන්න. අපි වගකීමේන් කියනවා සියලුදෙනා එකතුවෙලා රට හදන්න එකතුවෙන්න. අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස එක එක දේවල් ජනතාව අතර ප්‍රචාරය කරන්න උත්සහ කරනවා. මේ අරගලය ක්‍රිියාත්මක වෙච්ච ආකාරය බැලුවම මහා පිරිසකගේ වුවමනාවෙන් සිදු වුණ දෙයක් නොවේ තක්කඩි දේශපාලන පක්ෂවලින් අහිංසක මිනිස්සුන්ගේ තිබ්ච්ච අරගලය අතට අරගෙන ක්‍රියාත්මක කරපු දෙයක් බව දැන් අනාවරණය වෙනවා. ඒ නිසා මේ පක්ෂවලටත් අපි කියන්නේ මේ තත්වයට යන්නේ නැතිව අපි සියලුදෙනා එකතුවෙලා කටයුතු කරමු. ” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *