රටට අවශ්‍ය වන්නේ අඛණ්ඩව, ඉහළ ගුණාත්මකභාවයකින් සහ අඩුම ඒකක මිලක් යටතේ විදුලිය ලබාදෙන ජනන ප්‍රතිපත්තියක් බව පෙන්වා දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, බලය නොමැති සමයේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් පෙනී සිටි වත්මන් රජය මේ වන විට එම ව්‍යාපෘති කුණු කූඩයට විසි කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට බරපතළ චෝදනා එල්ල කරයි. මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා හමුවූ අවස්ථාවකදී සූර්ය බලශක්ති ව්‍යවසායකයන් මුහුණපා ඇති ගැටලු සහ රජයේ ප්‍රතිපත්තිමය පරස්පරතා හෙළි කළ ඔහු, ස්වභාවික සම්පත් බහුලව තිබියදී කෝටි ප්‍රකෝටි ගණනින් තාප බලාගාර ආශ්‍රිත ආයෝජනවලට යොමුවීම රටේ අනාගතයට අහිතකර බව අවධාරණය කළේය.
සූර්ය බලශක්ති ක්ෂේත්‍රය තුළින් ව්‍යවසායකයන් දහස් ගණනක් බිහිවී ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශ්‍රමිකයන් විශාල පිරිසක් එම කර්මාන්තයට සම්බන්ධ වී සිටියද, වත්මන් රාජ්‍ය ප්‍රතිපත්ති නිසා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. සූර්ය බලශක්ති ඒකකය සඳහා පැවති මිල අඛණ්ඩව අඩු කරමින් නෙට් ප්ලස් ක්‍රමවේදය හරහා ආයෝජකයන් පලවා හරිනු ලබන්නේ තාප හා ඉන්ධන බලාගාර ක්ෂේත්‍රයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් දැයි ඔහු සාධාරණ ප්‍රශ්නයක් මතු කළේය. මාසිකව රුපියල් බිලියන 25කට අධික මුදලක් රටට ඉතිරි කරන සූර්ය බලශක්ති ජනන ක්‍රියාවලිය අඩාල කිරීම ආර්ථික වශයෙන් බරපතළ පසුබෑමකි.
ගෝලීය වශයෙන් හෝර්මූස් සහ බාබ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධි ආශ්‍රිතව පවතින යුදමය වාතාවරණය හමුවේ, මෙරට බලශක්ති ආරක්ෂාව තහවුරු කරගැනීමට නම් ඉන්ධන හා තාප බලාගාර මත පමණක් යැපීම සම්පූර්ණයෙන්ම අත්හැර දැමිය යුතුය. ඕස්ට්‍රේලියාව සහ නෝර්වේ වැනි රටවල අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගනිමින්, අඛණ්ඩව අඩු වියදමකින් විදුලිය නිපදවිය හැකි පුනර්ජනනීය සහ සූර්ය බලශක්ති ප්‍රවර්ධනයට රජය වහාම ක්‍රියාත්මක විය යුතු අතර, එවැනි හරිත සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














