කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධාන කළ “Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage” විශේෂ සංස්කෘතික වැඩසටහන සෝල් නගරයේදී අතිසාර්ථක ලෙස පවත්වා තිබේ. සෝල් නුවර සේඔන්ග්බුක් මීඩියා සංස්කෘතික මධ්‍යස්ථානයේ (Seongbuk Media Culture Maru) කුම්බිට් (Kkumbit) රංග ශාලාවේදී මෙම ප්‍රසංගය වේදිකාගත විය. ශ්‍රී ලංකාවේ පොහොසත් නර්තන සම්ප්‍රදායන් සහ සංස්කෘතික උරුමය ජාත්‍යන්තර ප්‍රජාව වෙත සමීප කිරීම මෙහි මූලික අරමුණ වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා විදේශීය තානාපතිවරුන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්, කොරියානු ප්‍රභූන් සහ කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු 250කට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) අනුග්‍රහය ඇතිව පැමිණි “රංග ගමගේ නර්තන ඇකඩමිය” (Ranga Gamage Dancing Studio) විසින් උඩරට සහ පහතරට සම්ප්‍රදායන් නියෝජනය කරමින් ඉදිරිපත් කළ විවිධ නර්තන අංග, ශ්‍රී ලංකාවේ කලාත්මක සහ ජනශ්‍රැති උරුමය මැනවින් විදහා පෑවේය. එහිදී වැඩසටහනේ විශේෂාංගයක් ලෙස ශ්‍රී ලාංකේය නර්තනය සහ කොරියානු K-Pop සංගීතය මුසු වූ ‘ෆියුෂන්’ (Fusion) නර්තනයක් ද ඉදිරිපත් කෙරුණු අතර, එය ප්‍රේක්ෂකයන්ගේ ඉහළම ප්‍රතිචාර සහ උද්‍යෝගය දිනා ගැනීමට සමත් විය.
නර්තන අංගයන්ට අමතරව, ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය සහ සංචාරක ආකර්ෂණය පිළිබඳව ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීමේ අන්තර්ක්‍රියාකාරී (Interactive) වැඩසටහනක් ද මෙහිදී ක්‍රියාත්මක කෙරිණි. දකුණු කොරියාව තුළ ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර පුද්ගල සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් තානාපති කාර්යාලය ගන්නා අඛණ්ඩ උත්සාහයේ තවත් එක් සාර්ථක පියවරක් ලෙස මෙම උත්සවය හැඳින්විය හැකිය.
















