අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම තවදුරටත් උග්‍ර කරමින්, ඉරානය විසින් අද (28) සෙනසුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ කටාර් රාජ්‍යය ඉලක්ක කර නවතම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. දෙරටේම ආරක්ෂක අංශ විසින් නිකුත් කරන ලද නිල නිවේදනවලට අනුව මෙම ප්‍රහාර සාර්ථකව මැඩපවත්වා ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ බැලැස්ටික් මිසයිල 20ක් සහ ඩ්‍රෝන යානා 37ක් සිය රට දෙසට එල්ල වූ අතර, ඒවා ඉලක්ක වෙත ළඟා වීමට පෙර සාර්ථකව විනාශ කළ බවයි. මෙම ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත. අමාත්‍යාංශ වාර්තාවලට අනුව, වත්මන් යුදමය තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානය විසින් එමීර් රාජ්‍යය වෙත බැලැස්ටික් මිසයිල 398ක්, කෲස් මිසයිල 15ක් සහ ඩ්‍රෝන යානා 1,872ක් එල්ල කර තිබේ.
එමෙන්ම කටාර් රාජ්‍යය ද තමන් වෙත එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සාර්ථකව ව්‍යර්ථ කළ බව තහවුරු කළේය. සියලුම ඩ්‍රෝන යානා අහසේදීම විනාශ කළ බවත්, කිසිදු හානියක් සිදු නොවූ බවත් කටාර් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ප්‍රහාරත් සමඟ ගල්ෆ් කලාපයේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවදානමක් මතුව ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය මේ වෙත යොමුව පවතී.














