පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (28) පස්වරු 16.00 සිට හෙට (29) පස්වරු 16.00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වන බව එම සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල සහ දොඩංගොඩ, කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල සහ අරණායක, නුවරඑළිය දිස්ත්රික්කයේ නෝර්වුඩ් සහ අඹගමුව කෝරළය යන ප්රදේශවලට මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහා මට්ටම 2 යටතේ වන අවදානම් හෝ ඇම්බර් නිවේදන නිකුත් කර ඇති අතර, එම ප්රදේශවල පදිංචි ජනතාවට වැඩි අවධානයකින් පසුවන ලෙස දන්වා ඇත. මීට අමතරව කොළඹ, ගාල්ල, මහනුවර, කුරුණෑගල, මාතර ඇතුළු තවත් දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මට්ටම 1 යටතේ වන සැලකිලිමත් වීමේ කහ නිවේදන නිකුත් කර තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය අඛණ්ඩව පවතින බැවින්, නායයෑම් අවදානම් සහිත ප්රදේශවල ජීවත් වන ජනතාව අදාළ අනතුරු ඇඟවීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, පස් කඩා වැටීම්, ගල් පෙරළීම් හෝ අසාමාන්ය ජල ගැලීම් ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසත් ආරක්ෂක අංශ සහ ආපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් තරයේ ඉල්සා සිටියි.
















