තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්රණ මධ්යස්ථානයේදී අද (28) ආරම්භ වූ පස්වන ආසියා-පැසිෆික් අමාත්ය මණ්ඩල සමුළුවේ (MC-5) උප සභාපතිවරයා ලෙස ශ්රී ලංකාවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් සඳහා වන ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) සහ තායිලන්ත රාජ්ය රජය විසින් මෙම සමුළුව ඒකාබද්ධව සංවිධානය කර ඇත.
සමුළුව අමතමින් ශ්රී ලංකාව නියෝජනය කරමින් අමාත්යවරයා පෙන්වා දුන්නේ තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමේදී ගෝලීය ප්රගතිය මන්දගාමී වී ඇති බවයි. රෝග නිරීක්ෂණය වැඩිදියුණු කිරීමට, කාලගුණික සෞඛ්ය අවදානම් තක්සේරු කිරීමට, ව්යසන සූදානම ශක්තිමත් කිරීමට සහ සෞඛ්ය සේවා සඳහා ප්රවේශය පුළුල් කිරීමට කෘත්රිම බුද්ධිය (AI) සහ අනෙකුත් ඩිජිටල් තාක්ෂණයන් ජාතික මහජන සෞඛ්ය පද්ධතිවලට ඒකාබද්ධ කිරීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේය.
මූල්ය හා ධාරිතා අභියෝගවලට මුහුණ දෙන සංවර්ධනය වෙමින් පවතින රටවලට නැගී එන තාක්ෂණයන්හි ප්රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව පෙන්වා දුන් අමාත්යවරයා, ආයතනික ධාරිතාව ඉහළ නංවා ගනිමින් තාක්ෂණික මෙවලම්, විශේෂඥ දැනුම සහ සම්පත් හුවමාරු කර ගැනීම සඳහා ශක්තිමත් කලාපීය සහයෝගීතාවක් අවශ්ය බවද ඉල්ලා සිටියේය. සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ, රාජ්ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ඉංජිනේරු ආචාර්ය සනත් පනාවැන්න ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
















