රටේ ආර්ථික වශයෙන් වඩාත්ම වැදගත් කලාපවලින් එකක් වන කැලණි ගංගා ද්රෝණියේ ගංවතුර අවම කිරීමේ මුලපිරීමක් සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් බිලියන 2.179ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.54ක්) වටිනා ප්රදාන ආධාරයක් ප්රකාශයට පත් කර තිබේ. පුළුල් කොළඹ අගනගර ප්රදේශය පුරා වැසි ජල අපවහන ධාරිතාව ශක්තිමත් කිරීම සහ අනාගත ගංවතුර බලපෑම් අවම කිරීම අරමුණු කරගත් මෙම ව්යාපෘතිය යටතේ, ජපන් තාක්ෂණය භාවිතා කරමින් නවීන කුණාටු ජල පොම්පාගාරයක් ඉදිකිරීමට නියමිතය.
ප්රධාන ප්රවාහන මාර්ග, සැපයුම් පහසුකම් සහ වාණිජ ආයතන රැසකට නිවහන වන මෙම ප්රදේශයේ ගංවතුර අවදානම පාලනය කිරීම සඳහා ක්රියාත්මක වන මෙම ව්යාපෘති ගිවිසුම අද (28) කොළඹදී විධිමත් කරන ලද අතර, ඒ සඳහා ශ්රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් විසින් අත්සන් තබා සටහන් හුවමාරු කර ගන්නා ලදී.
















