හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තවත් පාකිස්ථාන ධජය සහිත නෞකා 20කට ගමන් කිරීමට ඉරානය එකඟ වී ඇති බව පාකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මහතා (Ishaq Dar) ඊයේ (සෙනසුරාදා) රාත්‍රියේ ප්‍රකාශ කළේය. මෙම නව එකඟතාවය අනුව දිනකට පාකිස්ථාන නෞකා දෙක බැගින් මෙම වැදගත් මුහුදු මාර්ගය හරහා ගමන් කිරීමට නියමිතය.
මෙම තීරණය කලාපීය සාමය සහ ස්ථාවරත්වය උදෙසා ඉරානය විසින් තබන ලද සාධනීය පියවරක් බවත්, එය බෙහෙවින් අගය කරන බවත් අමාත්‍යවරයා X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සඳහන් කර තිබේ. පවතින යුදමය වාතාවරණය හමුවේ ඇති වී තිබෙන උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමට මෙය මනා පිටුවහලක් වනු ඇතැයි පාකිස්ථානය විශ්වාසය පළ කරයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගයකි. ඉරාන-ඇමරිකානු ගැටුම් හේතුවෙන් මෙම මාර්ගය අවහිර වීම ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කර තිබූ අතර, පාකිස්ථාන නෞකාවලට මෙලෙස අවසර ලැබීම ජාත්‍යන්තර වෙළඳාමට යම් සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.















