ඉන්ධන බෙදාහැරීමේදී සිදුවන සියලුම ආකාරයේ කළු ජාවාරම් වහාම පරාජය කරමින්, පවතින සීමිත සම්පත් ජනතාවගේ පොදු අවශ්‍යතා සඳහා සාධාරණව බෙදී යන බව සහතික කළ යුතු යැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා අවධාරණය කරයි. මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ඇතැම් ඉන්ධන පිරවුම්හල් සේවකයන් අමතර මුදලක් ලබාගෙන QR කේත ක්‍රමවේදයෙන් බැහැරව නීතිවිරෝධී ලෙස ඉන්ධන නිකුත් කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. එවැනි දූෂිත ක්‍රියාවල නිරත වන පිරවුම්හල් වැටලීමට සහ නිවාස හෝ ව්‍යාපාරික ස්ථානවල අනීතික ලෙස ඉන්ධන රැස්කර තබාගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බුද්ධි තොරතුරු මත පදනම් වූ විශේෂ මෙහෙයුම් ආරම්භ කරන ලෙස ඔහු පොලිසියට උපදෙස් ලබා දී තිබේ.
රාජ්‍ය අංශයේ පවතින වාහන 92,000ක පමණ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින්, ඉන්ධන අරපිරිමැස්ම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් ආදර්ශමත් විය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එක් වාහනයකින් දිනකට ඉන්ධන ලීටරය බැගින් ඉතිරි කළහොත් දිනකට ලීටර් 92,000ක ජාතික සම්පතක් ආරක්ෂා කරගත හැකි බවත්, ඒ අනුව අනවශ්‍ය වාහන භාවිතය සීමා කර පොදු ප්‍රවාහන ක්‍රමවේද වෙත යොමු වන ලෙසත් ඔහු නිලධාරීන්ට දැනුම් දුන්නේය. මෙම කළු ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පොලිස්පතිවරයා විසින් දැනටමත් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් වරදකරුවන් අධිකරණය හමුවට පමුණුවන ලෙස ද වටගල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














