ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ. මෙය මීට පෙර මිලියන සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැති “රජවරුන් එපා” (No Kings) විරෝධතා ව්‍යාපාරයේ තෙවන අදියර ලෙස සනිටුහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිව්යෝර්ක්, වොෂින්ටන් ඩී.සී. සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකාවේ සෑම ප්‍රධාන නගරයකම පාහේ මේ වන විට උද්ඝෝෂණ පැවැත්වේ. ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය, දැඩි ෆෙඩරල් ආගමන නීති බලාත්මක කිරීම සහ ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම ඇතුළු ට්‍රම්ප් පාලනය විසින් හඳුන්වා දුන් නව ප්‍රතිපත්තිවලට එරෙහිව විරෝධතාකරුවෝ සිය විරෝධය පළ කරති.
විරෝධතාකරුවන් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ පරිපාලනයේ අනෙකුත් ප්‍රබල නිලධාරීන්ගේ අනුරූ ප්‍රදර්ශනය කරමින් ඔවුන් ධුරවලින් ඉවත් කරන ලෙසත්, වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් බල කර සිටිනු දක්නට ලැබුණි. මෙම විරෝධතා ව්‍යාපාරය හමුවේ අමෙරිකාවේ ප්‍රධාන නගරවල ආරක්ෂාව දැඩි කර ඇති අතර, මෙය ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එල්ල වූ ප්‍රබලතම මහජන විරෝධය ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.














