පවතින අධික උණුසුම් කාලගුණයත් සමඟ නිවෙස්වල ජනෙල් සහ දොරවල් විවෘත කර තැබීම හේතුවෙන් සොරකම් සහ මංකොල්ලකෑම් ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දැනුම් දෙයි. රාත්‍රී කාලයේ පවතින උෂ්ණත්වය දරාගත නොහැකිව බොහෝ පිරිසක් වාතාශ්‍රය ලබාගැනීම සඳහා ජනෙල් විවෘත කර නිදාගැනීමට පෙළඹී සිටින අතර, අපරාධකරුවන් එමඟින් ලැබෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙයි. තමන්ගේ පහසුව වෙනුවෙන් ආරක්ෂාව පාවා නොදෙන ලෙසත්, නින්දට යාමට පෙර නිවසේ සියලුම ආරක්ෂිත පියවරයන් ක්‍රියාත්මක කර ඇද්දැයි නැවත පරීක්ෂා කරන ලෙසත් පොලිසිය අවධාරණය කරයි.
සොරකම් අවම කරගැනීම සඳහා වාතාශ්‍රය ලබාගන්නා ජනෙල්වලට ශක්තිමත් ආරක්ෂිත යකඩ වැටවල් (Grills) සවිකර තිබීම අනිවාර්ය බවත්, සියලුම බාහිර දොරවල් සහ ගේට්ටු නිසි ලෙස අගුළු දමා ඇති බව තහවුරු කරගන්නා ලෙසත් පොලිසිය උපදෙස් දෙයි. එසේම රාත්‍රී කාලයේදී නිවස අවට ප්‍රමාණවත් ආලෝකයක් පවත්වා ගැනීම මඟින් අනවසර පුද්ගලයන් නිවසට ඇතුළුවීම වැළැක්විය හැකිය. යම් හෙයකින් සැකකටයුතු පුද්ගලයන් හෝ ක්‍රියාකාරකම් නිරීක්ෂණය වන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.














