මෙරට දෛනික විදුලි පරිභෝජනය 25%කින් සීමා කිරීමේ ඉලක්කය සහිතව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘සුරකිමු ලංකා’ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය අද (29) සිට දිවයින පුරා ආරම්භ වේ. ජනාධිපති ලේකම් කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ආයතනය ඒකාබද්ධව මෙහෙයවන මෙම වැඩසටහන මඟින් දිනපතා පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා පවතින විදුලි ඉල්ලුම (Peak Hours) කළමනාකරණය කරගැනීම ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති තර්ජනය හමුවේ ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබාදුන් උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන යටතේ විදුලි පරිභෝජනය සඳහා කිසිදු තහංචියක් පැනවීම සිදු නොවන නමුත්, උපරිම ඉල්ලුමක් පවතින කාලසීමාවන් තුළ අනවශ්‍ය විදුලි බුබුළු සහ උපකරණ ක්‍රියාවිරහිත කරමින් බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ජනතාව උනන්දු කරවනු ලබයි. විශේෂයෙන්ම වෙළඳ ප්‍රදර්ශන පුවරු (Billboards) සහ විසිතුරු ආලෝක පද්ධති භාවිතය සීමා කිරීම මඟින් සැලකිය යුතු විදුලි ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව රජය පෙන්වා දෙයි. මීට අමතරව, රජයේ ආයතන සඳහා ද විදුලිය සහ ඉන්ධන පිරිමසා ගැනීම සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර, වීදි ලාම්පු අනවශ්‍ය වේලාවන්හිදී නිවා දැමීමට පළාත් පාලන ආයතන වෙත උපදෙස් දී ඇත. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට දේශපාලන භේදයකින් තොරව සහය ලබාදෙන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.















