ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින්ගෙන් 40%කට වැඩි පිරිසක් සිය අවම ශාරීරික යෝග්‍යතා මට්ටම සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බව වාර්තා වේ. මෙය මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සූදානම සහ වෘත්තීය මට්ටම පිළිබඳව දැඩි සංවාදයක් ඇති කිරීමට සමත්ව තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේදී පැවැති මෙම විශේෂ පරීක්ෂණය සඳහා ක්‍රීඩකයින් 46 දෙනෙකු සහභාගී වී ඇති අතර, ඉන් සාර්ථක වී ඇත්තේ ක්‍රීඩකයින් 27 දෙනෙකු පමණි. ඉතිරි ක්‍රීඩකයින් 19 දෙනාම, එනම් සමස්ත සංචිතයෙන් 41.3%ක්ම පරීක්ෂණ පහක් යටතේ ලබාගත යුතු අවම ලකුණු 17 සපුරා ගැනීමට සමත් වී නොමැති බව සති අන්ත පුවත්පතක් උපුටා දක්වමින් වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව රෙගුලාසිවලට අනුව, විදේශීය විස්සයි විස්ස ලීග තරගාවලි සඳහා සහභාගී වීමට අවශ්‍ය ‘විරෝධතාවක් නොමැති බවට වන සහතිකය’ (NOC) ලබා ගැනීමට නම් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීම අනිවාර්ය වේ. මේ හේතුවෙන් අසමත් වූ ක්‍රීඩකයින් රැසකට ඉදිරි විදෙස් ලීග වරම් අහිමි වීමේ අවදානමක් මතුව ඇත.
කෙසේ වෙතත්, මහීෂ් තීක්ෂණ වැනි ක්‍රීඩකයින් සිය යෝග්‍යතාව ඉහළ නංවා ගැනීමට සුවිශේෂී උත්සාහයක් ගෙන ඇති බව වාර්තා වේ. ඔහු පාකිස්ථාන සුපර් ලීග් (PSL) තරගාවලියට එක්වීමට ප්‍රථම සිය බර කිලෝග්‍රෑම් 5-6ත් අතර ප්‍රමාණයකින් අඩු කර ගනිමින් පරීක්ෂණයේදී ලකුණු 22ක් ලබා ගැනීමට සමත්ව තිබේ.















