ඉහළ මිලකට අලෙවි කිරීමේ අරමුණින් තම නිවසේ අනවසරයෙන් ඉන්ධන තොගයක් රැස්කර තබාගෙන සිටි 33 හැවිරිදි කාන්තාවක කුඩාඔය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඌව කුඩාඔය, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදීය. අදාළ නිවස සෝදිසි කිරීමේදී එහි සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 95ක් සහ ඩීසල් ලීටර් 78ක් පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.
ඉරාන යුද්ධය හේතුවෙන් පවතින ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට පවතින කටකතා ප්‍රයෝජනයට ගනිමින්, පසුව වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙම තොගය රැස්කර ඇති බවට පොලිසිය සැක කරයි. අත්අඩංගුවට ගත් සැකකාරිය අද (29) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන්ධන අනවසරයෙන් රැස්කරන්නන්ට සහ වැඩි මිලට අලෙවි කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජය ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇති අතර, කුඩාඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.















