ශ්‍රී ලංකාවේ දූෂණ මර්ධන ක්‍රියාවලිය විධිමත් කිරීමේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහා වන මධ්‍යගත විද්‍යුත් පද්ධතිය (Centralized Electronic System) එළඹෙන මාර්තු 31 වැනිදා පෙරවරු 10.00ට නිල වශයෙන් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) තීරණය කර ඇත. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ හඳුනාගත් ප්‍රධාන අවශ්‍යතාවක් වන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම මින් ඉදිරියට මෙම නවීන තාක්ෂණික පද්ධතිය ඔස්සේ වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමට අවස්ථාව සැලසේ.
මෙතෙක් පැවති ක්‍රමය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම සිදුකරනු ලැබුවේ මුද්‍රිත පෝරම අතින් සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමෙනි. එහෙත් නව විද්‍යුත් පද්ධතිය හුදෙක් පෝරමයක් අන්තර්ජාලය හරහා පිරවීමට එහා ගිය පූර්ණ ඩිජිටල්කරණ ක්‍රියාවලියක් වන අතර, වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම සහ අසාමාන්‍ය ලෙස වත්කම් උපයා ගැනීම් හඳුනාගැනීමට හැකි පරිදි ස්වයංක්‍රීය සත්‍යාපන හැකියාවන්ගෙන් (Verification Capabilities) මෙය සමන්විත වේ. දූෂණ විරෝධී පනත මඟින් ස්ථාපිත කර ඇති ප්‍රබල නීතිමය රාමුව ක්‍රියාත්මක කිරීමේදී මෙම පද්ධතිය තීරණාත්මක තාක්ෂණික මෙවලමක් වනු ඇතැයි කොමිෂන් සභාව විශ්වාසය පළ කරයි. මෙමඟින් මෙරට දූෂණ මර්ධන ප්‍රයත්නයන්හි නවීනත්වය, ස්වාධීනත්වය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මඟ පෑදෙනු ඇත.













