ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ 19 වන අදියර ඊයේ (28) බැංගලෝරයේ චින්නසාමි ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. මෙවර තරගාවලියේ විශේෂත්වය වූයේ පසුගිය වසරේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ ජයග්‍රාහී සැමරුම් අතරතුර සිදුවූ තෙරපීමකින් ජීවිතක්ෂයට පත්වූ ක්‍රීඩාලෝලීන් 11 දෙනා වෙනුවෙන් උපහාර පිණිස කිසිදු සමාරම්භක උත්සවයකින් තොරව තරගාවලිය ආරම්භ කිරීමයි.
සමාරම්භක උත්සවය වෙනුවට මියගිය පිරිස සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වූ අතර, එම ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් චින්නසාමි ක්‍රීඩාංගණයේ ආසන 11ක් වෙන්කර තැබීමට ද පියවර ගෙන තිබුණි. තරගයට එක්වූ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් කළු පටි පැළඳ ක්‍රීඩා කිරීම ද විශේෂත්වයකි.
මෙම සමාරම්භක තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 201ක් රැස්කළ අතර, එහිදී ඉෂාන් කිෂන් ලකුණු 80ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ජෙකොබ් ඩුෆි සහ රොමාරියෝ ෂෙෆර්ඩ් කඩුලු 3 බැගින් දවාලූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලූරු කණ්ඩායම පන්දුවාර 15.4ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය. විරාත් කෝලි ලකුණු 69ක් සහ දේව්දත් පඩික්කල් ලකුණු 61ක් රැස්කරමින් බැංගලූරු පිල ජයග්‍රහණය කරා මෙහෙයවූහ. සන්රයිසස් හයිද්‍රාබාද් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ එෂාන් මාලිංග පන්දුවාර දෙකකදී ලකුණු 35ක් ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණි.













