ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය හරහා ගමන් කරමින් තිබූ චීන ධජය සහිත වෙළඳ නෞකාවක සේවය කළ අයෙකු හදිසියේ ගිලන් වීම හේතුවෙන් ඔහුව බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ වෛද්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් (Medical Evacuation) සාර්ථකව සිදු කර තිබේ. පසුගිය මාර්තු 27 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවට නාවික සැතපුම් 700ක් පමණ ඈතින් පිහිටි සෙවුම් සහ මුදාගැනීමේ කලාපයේදී කොළඹ සමුද්‍රීය සෙවුම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) වෙත ලැබුණු හදිසි පණිවිඩයකට අනුව මෙම මෙහෙයුම දියත් කර ඇත. නෞකාව ගාලු වරාය ආසන්නයේ පිටත වරාය සීමාව (OPL) දක්වා ගෙන්වා ගත් නාවික හමුදාව, එම කාලය තුළ නෞකාවේ සිටි පිරිසට අවශ්‍ය මූලික වෛද්‍ය උපදෙස් ද ලබා දී තිබේ.
දකුණු නාවික විධානයට අයත් යාත්‍රාවක් මඟින් අදාළ රෝගී සේවකයා නෞකාවෙන් ගොඩබිමට රැගෙන ආ අතර, පසුව ඔහුව ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. නාවික හමුදාව සහ එම නෞකාවේ දේශීය නියෝජිත ආයතනය ඒකාබද්ධව මෙම වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සම්බන්ධීකරණය කර තිබේ. ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුළ පීඩාවට පත්වන නාවික සහ ධීවර ප්‍රජාවට සහාය වීම සඳහා කොළඹ MRCC මධ්‍යස්ථානය සමඟ එක්ව නිරන්තර අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් අවධාරණය කළේය.













