සහල් තොග සන්තකයේ තබා ගනිමින් පාරිභෝගිකයන්ට සිල්ලර මිලට අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළ වෙළඳුන් පිරිසකට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ලැබුණු පැමිණිල්ලකට අනුව අද (29) පෙරවරුවේ කිරුළපන පොදු වෙළෙඳ සංකීර්ණයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස කොටු කර ගැනීමට හැකි විය.
එහිදී අනාවරණය වී ඇත්තේ සිල්ලර වෙළඳාම සඳහා බලපත්‍ර ලබාගෙන ඇති ඇතැම් වෙළඳුන්, සහල් තොග සඟවා තබා ගනිමින් ඒවා හෝටල් සඳහා පමණක් අලෙවි කරන බවයි. මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී වෙළඳසැල් හිමිකරුවන් සහ වැටලීම් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබේ. උත්සව සමය නිමිත්තෙන් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දිනවල දිවයින පුරා දැඩි සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත.
භාණ්ඩ සන්තකයේ තබා ගනිමින් විකිණීම ප්‍රතික්ෂේප කිරීම සහ නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි. එවැනි අකටයුතුකම් සිදුකරන වෙළඳුන්ට එරෙහිව ඉදිරියේදීත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.













