ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්දියාව මෑතකදී සිදුකළ ඉන්ධන බදු සංශෝධන ආකෘතිය කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාව සිය සුරාබදු අඩු කරනු ලැබුවේ මිල වහාම පහත හෙළීමට නොව, ගෝලීය තෙල් මිල ඉහළ යාම් හමුවේ වෙළඳපොළ ස්ථාවර කිරීමට සහ තවදුරටත් මිල වැඩිවීම වැළැක්වීමට බවයි.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යන විට රජය සිය ආර්ථික ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි. මූල්‍ය විනය වැදගත් වුවද, ඉන්දියාවේ වර්ධනය ඉලක්ක කරගත් ප්‍රවේශය මෙන් අධික බදු බර අඩු කිරීම මඟින් ආයෝජන දිරිමත් කිරීමට, පුරවැසියන්ගේ පීඩනය ලිහිල් කිරීමට සහ දිගුකාලීන ආර්ථික ප්‍රකෘතියට සහය විය හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.
එසේම, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදකාරී අවස්ථාවේදී ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක තොගයක් කඩිනමින් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය ජනතාව ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ (Neighbourhood First) යන ප්‍රතිපත්තිය යළිත් තහවුරු කර ඇති බව ද නාමල් රාජපක්ෂ මහතා සිය සටහනේ සඳහන් කර තිබේ. ඕනෑම අර්බුදයකදී ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිචාරකයා ලෙස කටයුතු කර ඇති බවත්, කලාපීය වශයෙන් උපායමාර්ගික හවුල්කරුවන් ලෙස රටවල් එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.













