බටහිර ආසියානු කලාපයේ (මැදපෙරදිග) පවතින උග්‍ර යුදමය වාතාවරණය මධ්‍යයේ එහි වසන ඉන්දීය වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ ගල්ෆ් කලාපීය රටවලට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ස්තූතිය පුද කර සිටී. සිය ‘මන් කි බාත්’ (Mann Ki Baat) ගුවන්විදුලි වැඩසටහනේ 132 වැනි කථාංගය මෙහෙයවමින් අගමැතිවරයා කියා සිටියේ, ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ ඉන්දියාව නොසැලී සිටින බවයි. විශේෂයෙන්ම ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගල්ෆ් රටවල සේවය කරන ඉන්දීය වැසියන් කෝටියකට අධික පිරිසකට එම රටවල් ලබාදෙන සහයෝගය ඉතා වැදගත් බව ඔහු අවධාරණය කළේය.
ගෝලීය වශයෙන් පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන් වර්ධනය වෙමින් පවතින අර්බුදය පරාජය කිරීමට ඉන්දියාව පසුගිය දශකය පුරා ගොඩනඟා ගත් ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා ඉවහල් වී ඇති බව පෙන්වා දුන් මෝදි මහතා, පවතින තත්ත්වය දේශපාලනීකරණය නොකරන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් සහ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය. “පටු දේශපාලන වාසි සඳහා මෙහි ඉඩක් නැත. කටකතා පතුරුවන්නන් රටට විශාල හානියක් සිදු කරනවා,” යැයි පවසමින් ඔහු විපක්ෂයට ද දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. රජය ලබාදෙන නිල තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත්, කටකතාවලට නොරැවටෙන ලෙසත් ඔහු ඉන්දීය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමෙන් ඇරඹි මෙම ගැටුම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද, ඉන්දීය රජය ඉන්ධන සඳහා වන සුරාබදු (Excise Duty) අඩු කිරීමට පියවර ගෙන ඇත. එසේම එල්.පී. ගෑස් (LPG) අර්බුදයට විසඳුමක් ලෙස නල මඟින් සපයන ස්වාභාවික වායුව (PNG) සඳහා වන යටිතල පහසුකම් කඩිනම් කිරීමට ද තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සෙනසුරාදා සවුදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු සමඟ ද දුරකථන සාකච්ඡාවක නිරත වූ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් සමඟ ද අඛණ්ඩව සම්බන්ධ වෙමින් කලාපීය සාමය වෙනුවෙන් පෙනී සිටියි.













