ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ, නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ පිහිටි ඩෙස්ෆර්ඩ් දෙමළ මහා විද්‍යාලය වෙත අංගසම්පූර්ණ තොරතුරු තාක්ෂණ පරිගණක මධ්‍යස්ථානයක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ මූලික උපදෙස් මත පසුගිය මාර්තු 28 වැනිදා මෙම නවීන ඉගෙනුම් පහසුකම සිසු අයිතියට පත් කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශයේ මෙහෙයවීමෙන් ස්ථාපිත කරන ලද මෙම ව්‍යාපෘතිය හරහා වතුකරයේ දූ දරුවන්ට නූතන ඩිජිටල් ලෝකය සමඟ සම්බන්ධ වීමට වටිනා අවස්ථාවක් හිමි වේ.
මෙම නවීන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය වායුසමනය කරන ලද පහසුකම්වලින් සමන්විත වන අතර, එහි ඩෙස්ක්ටොප් පරිගණක 15ක්, අඛණ්ඩ විදුලි සැපයුම් පද්ධති (UPS) සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් ඇතුළත් කර ඇත. මෙම පුණ්‍යකර්මය සඳහා ‘Alengko’ පදනම මෙන්ම ඕස්ට්‍රේලියාවේ සහ ජර්මනියේ වසන ශ්‍රී ලාංකික ප්‍රජාව ද මූල්‍ය දායකත්වය ලබා දී තිබීම විශේෂත්වයකි. පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් සහ නායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු නිම කර ඇති අතර, එමඟින් පාසල් දරුවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට සුවිශාල රුකුලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














