මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය නොසන්සුන්තාව හේතුවෙන් අප්‍රේල් මස මුලදී මෙරටට ළඟා වීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 25,000ක යූරියා පොහොර නෞකාව ප්‍රමාද වීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම හා සත්ත්ව සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අනතුරු අඟවයි. ඉන්දියාව හරහා ඕමානයෙන් ආනයනය කෙරෙන මෙම පොහොර තොගය යල කන්නයේ වගා කටයුතු සඳහා අතිශය තීරණාත්මක වන නමුත්, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින නාවික ගමනාගමන බාධා කිරීම් හේතුවෙන් එහි පැමිණීම පිළිබඳව මේ වන විට අවිනිශ්චිතතාවක් මතු වී තිබේ. ලෝක වෙළෙඳපොළේ පොහොර සැපයුමෙන් තුනෙන් එකක්ම මෙම මුහුදු මාර්ගය හරහා ප්‍රවාහනය කෙරෙන බැවින් පවතින තත්ත්වය ශ්‍රී ලංකාව වැනි ආනයනික පොහොර මත යැපෙන රටවලට ප්‍රබල බලපෑමක් එල්ල කරයි.
කෙසේ වෙතත්, යල කන්නයේ ආරම්භක අදියර සඳහා අවශ්‍ය පොහොර තොග දැනට රජය සතුව පවතින බවත්, පළමු යූරියා යෙදීම සඳහා ඉන් බාධාවක් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. ජාතික පොහොර ලේකම් කාර්යාලයට අනුව මේ වන විට යූරියා මෙට්‍රික් ටොන් 30,000ක් වෙළෙඳපොළට මුදාහැර ඇති අතර තවත් මෙට්‍රික් ටොන් 68,000ක් සංචිත ලෙස පවතී. මීට අමතරව ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) මෙට්‍රික් ටොන් 30,000 බැගින් තොග පවතින බව රජය පවසයි. එහෙත් ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ හෙක්ටයාර 450,000ක වගා කටයුතු සඳහා යූරියා මෙට්‍රික් ටොන් 120,000ක් පමණ අවශ්‍ය වන පසුබිමක, රජය පවසන මෙට්‍රික් ටොන් 25,000-30,000ක ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවයි.
පෞද්ගලික අංශය පොහොර සැපයුම ප්‍රමාද කරන බවට චෝදනා කරමින්, ඔවුන් සතු පොහොර තොගවලින් 65%ක් රජය යටතට ගැනීමට ද පියවර ගෙන ඇත. දැනට පවතින මිල යාන්ත්‍රණය යටතේ රජය පොහොර මිටියක් රුපියල් 9,500කට මිලදී ගෙන රුපියල් 11,000 නොඉක්මවන මිලකට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන අතර, එය පෞද්ගලික වෙළෙඳපොළේ පවතින රුපියල් 15,000–18,000 මිලට වඩා බෙහෙවින් අඩු අගයකි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ඉදිරි මහ කන්නයේදී පොහොර මිල තවදුරටත් ඉහළ යා හැකි බවට අනාවැකි පළ වන අතර, අනවශ්‍ය ලෙස පොහොර රැස් කිරීමෙන් වළකින ලෙස බලධාරීන් ගොවීන්ගෙන් ඉල්ලා සිටී.














