ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා කඩිනමින් ඉන්ධන නෞකාවක් මෙරටට එවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය රජයට සිය කෘතඥතාව පළ කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා වෙත ජනාධිපතිවරයා මෙලෙස ස්තුතිය පිරිනමා ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයා සහ ඉන්දීය බලධාරීන් අතර පැවැති සාර්ථක දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව, මෙරට පවතින ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය සහාය කඩිනමින් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබේ.
වත්මන් ආපදා තත්ත්වයන් සහ පවතින අවශ්‍යතාවයන් හමුවේ ඉන්දියාව ලබාදෙන මෙම සහයෝගය දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙම ඉන්ධන නෞකාව මෙරටට පැමිණීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා සහ ජන ජීවිතය පවත්වාගෙන යාම වඩාත් පහසු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













