මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ලියාපදිංචි සංචාරක වාහන ක්‍රියාකරුවන් සඳහා ඉන්ධන ලීටර් හාරලක්ෂයක් බෙදා හැරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි. සංචාරක කර්මාන්තය මුහුණ දෙන ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි.
මෙම ඉන්ධන බෙදා හැරීම ක්‍රමානුකූලව නියාමනය කිරීම සඳහා විශේෂ ඉන්ධන කේත පද්ධතියක් (Fuel Code System) හඳුන්වා දී ඇති අතර, එමඟින් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකම ලබා ගැනීමට සංචාරක වාහන හිමියන්ට අවස්ථාව සලසා දී ඇත. මීට අමතරව, සංචාරක හෝටල්වල දෛනික මෙහෙයුම් සහ අත්‍යවශ්‍ය අවශ්‍යතා වෙනුවෙන් ද වෙනම ඉන්ධන තොගයක් වෙන් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
මෙම වැඩපිළිවෙළ හරහා විදේශීය සංචාරකයින්ට බාධාවකින් තොරව මෙරට තුළ සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරක සංවර්ධන අධිකාරිය අවධාරණය කරන්නේ ක්ෂේත්‍රයේ නියැලී සිටින ලියාපදිංචි ක්‍රියාකරුවන්ට පමණක් මෙම සහනය හිමිවන බවයි.















