පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ මහජනතාවට පීඩා වන අයුරින් මුදලට ඔට්ටු අල්ලමින් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ තරග පැවැත්වූ තරුණයින් 11 දෙනෙකු අද (29) අලුයම පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහෙයුම අතරතුර ඔවුන් සතුව තිබූ යතුරුපැදි 12ක් සහ ත්‍රීරෝද රථ 02ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
වට්සැප් (WhatsApp) සමූහයක් හරහා කරන ලද දැනුම්දීමකට අනුව ඊයේ (28) රාත්‍රියේ සිට මෙම පිරිස අදාළ ස්ථානයට රැස්වී මෙම නීති විරෝධී තරග පවත්වා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලීසිය, ගම්වාසීන්ගේ ද සහාය ඇතිව තරග පවත්වන ආකාරය වීඩියෝ ගත කර පසුව මාර්ගය අවහිර කරමින් මෙම වැටලීම සිදු කර ඇත. පොලිස් මෙහෙයුම හමුවේ ඇතැම් තරුණයින් සිය වාහන අතහැර පලා ගොස් ඇති බව ද වාර්තා වේ.
අත්අඩංගුවට ගත් තරුණයින් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් වාහන ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.













