හෙට (30) දිනයේදී දිවයිනේ පළාත් රැසක ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද යන පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් මෙලෙස උණුසුම් දර්ශකය ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පවතින අධික උණුසුම් තත්ත්වය හමුවේ වැඩි වේලාවක් හිරු රශ්මියට නිරාවරණය වීම හෝ දැඩි වෙහෙසකාරී ක්‍රියාකාරකම්වල නිරත වීම මඟින් ශරීරයට දැඩි තෙහෙට්ටු ගතියක් ඇති විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි. එමෙන්ම, ශරීරයේ ජලය සහ ලවණ ඉවත් වීම හේතුවෙන් විජලනය සහ මස්පිඬු පෙරළීම (Heat Cramps) වැනි තත්ත්වයන් ද ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මේ පිළිබඳව මහජනතාව අවධානයෙන් පසුවිය යුතු අතර, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම සහ කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ද උපදෙස් ලබා දෙයි.













