පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අඩාල වූ සේවාවන් යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.
පසුගිය මාර්තු 23, 24 සහ 26 යන දිනවල බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ පළාත් කාර්යාල වෙත පැමිණ එක්දින සේවාව යටතේ හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් හෙට (30) දින එම සේවාව ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. අදාළ පුද්ගලයන් අවශ්‍ය සියලුම ලේඛන සහිතව පැමිණීමෙන් සිය හැඳුනුම්පත් ලබා ගත හැකිය. ලබන අඟහරුවාදා (මාර්තු 31) සිට සියලුම කාර්යාලවල සුපුරුදු පරිදි එක්දින සේවාව ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, තොරතුරු සත්‍යාපනය සහ ඉංග්‍රීසි පරිවර්තන ඇතුළු අනෙකුත් සේවාවන් දැනට සීමා සහිතව පවතින බැවින් ඒ සඳහා විකල්ප ක්‍රමවේද අනුගමනය කරන ලෙස රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් ඉල්ලීමක් කෙරේ. සාමාන්‍ය සේවාවන් සහ පෙරටු කාර්යාල කටයුතු අප්‍රේල් 06 වැනි සඳුදා සිට යළි පූර්ණ වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.













