කෑගල්ල, අඹන්පිටිය විහාරස්ථානය අසලදී අද (29) දහවල් කාලයේදී සිදු වූ රිය අනතුරකින් BYD වර්ගයේ විදුලි මෝටර් රථයකට දැඩි හානි සිදුව තිබේ. අධික වේගයෙන් පැමිණි මෝටර් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී රථයේ කිහිප දෙනෙකු ගමන් කර ඇති නමුත් වාසනාවකට මෙන් ඔවුන්ට බරපතල තුවාල සිදුව නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් ගැටීමේ ප්‍රබලතාවය හේතුවෙන් විදුලි කණුවට සහ මෝටර් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර ප්‍රදේශයේ විදුලි සැපයුමට ද මින් බාධා එල්ල විය.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර රියදුරුගේ නොසැලකිලිමත් භාවය හෝ කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වූයේද යන්න පිළිබඳව සොයා බලයි. මෑත කාලීනව මෙරට ජනප්‍රිය වෙමින් පවතින විදුලි මෝටර් රථ මෙවැනි අනතුරුවලට ලක්වීම පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.












