කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ නාරම්මල, දම්පෑලැස්ස ප්‍රදේශයේදී ඊයේ (28) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇති අතර ඔහු වහාම නාරම්මල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබේ. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ. අනතුර හේතුවෙන් යතුරුපැදියට සහ ලොරි රථයට දැඩි හානි සිදුව ඇති අතර, ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද සුළු වේලාවක් බාධා එල්ල විය.
සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර ලොරි රථයේ රියදුරුගේ නොසැලකිලිමත් ධාවනය අනතුරට හේතුවී ඇති බවට සැක කෙරේ. මෙම ප්‍රදේශය නිරන්තරයෙන් අනතුරු බහුල කලාපයක් බැවින් රියදුරන් වඩාත් විමසිලිමත් විය යුතු බව පොලිසිය අවධාරණය කරයි.














