ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිදුවූ දේපළ හා යටිතල පහසුකම් හානි සඳහා ඉරානය වන්දි ගෙවිය යුතු බව එම රටේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අවධාරණය කර සිටියි. දැනට මාසයක කාලයක් පුරා ඇදී යන මෙම යුද ගැටුම්වලින් සිදුවූ හානි සඳහා ඇමරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් ඉරානය වන්දි ඉල්ලා ඇති පසුබිමක, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති උපදේශක අන්වර් ගර්ගාෂ් මහතා ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉරානයේ ආක්‍රමණශීලී ක්‍රියාවලියට එරෙහිව ගන්නා ඕනෑම දේශපාලන විසඳුමකදී අනාගත ප්‍රහාර වැළැක්වීමේ සහතිකයක් මෙන්ම සිවිල් ජනතාවට සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට සිදු වූ හානි සඳහා ඉරානය විසින් වන්දි ගෙවිය යුතු බවයි. ඉරානය යුද්ධය ආරම්භ වීමට පෙර සිය අසල්වැසි රටවල් නොමඟ යවා ඇති බවත්, ඔවුන්ගේ ක්‍රියාකලාපය කල්තියා සැලසුම් කරන ලද ආක්‍රමණයක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉරානය වර්තමානය වන විට ගල්ෆ් කලාපීය රටවල ආරක්ෂාවට එල්ල වී ඇති ප්‍රධානතම තර්ජනය බව ද උපදේශකවරයා පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කර සිටියි. මැදපෙරදිග අර්බුදය තවදුරටත් ව්‍යාප්ත වීමත් සමඟ කලාපීය බලවතුන් අතර මෙලෙස රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් ද උත්සන්න වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.














