අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට (DHS) ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් පවතින දේශපාලන අර්බුදය හමුවේ, එරට රජයේ අර්ධ අකර්මන්‍යතාවය (Government Shutdown) අදට දින 44ක් සම්පූර්ණ කරමින් අමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම කාලසීමාව බවට පත්ව තිබේ. මීට පෙර 2025 වසරේ පැවති වාර්තාව ද අභිබවා යමින් මෙම තත්ත්වය නිර්මාණය වී ඇත්තේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර පවතින එකඟතාවයකින් තොර දේශපාලන පොරපිටිය හේතුවෙනි.
මෙම අර්බුදයේ සෘජු බලපෑම එරට ගුවන් තොටුපළ මෙහෙයුම් සඳහා දැඩි ලෙස එල්ල වී ඇත. ප්‍රවාහන ආරක්ෂණ පරිපාලන (TSA) නිලධාරීන්ට වැටුප් ගෙවීමට නොහැකි වීම නිසා ඔවුන් සේවයට වාර්තා නොකිරීම මීට ප්‍රධාන හේතුවයි. ගතවූ සිකුරාදා දින පමණක් නිලධාරීන් 3,560ක් (මුළු සේවක සංඛ්‍යාවෙන් 12.35%ක්) සේවයට වාර්තා කර නොමැති අතර, මේ වන විට නිලධාරීන් 500ක් පමණ සිය සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ගුවන් තොටුපළ පරීක්ෂණ පෝලිම් ගොඩනැගිලිවලින් පිටතට පවා විහිදී ගොස් ඇති අතර මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටී.
ගුවන් තොටුපළ තදබදය පාලනය කිරීම සඳහා ආගමන විගමන සහ රේගු බලාත්මක කිරීමේ (ICE) නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TSA නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා විධායක නියෝගයකට අත්සන් තබා ඇතත්, එය ව්‍යවස්ථාපිත ගැටලුවලට මුහුණ දීමේ අවදානමක් පවතී. ජුනි මාසයේ ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට සූදානම් වන අමෙරිකාවට මෙම ගුවන් තොටුපළ අර්බුදය දැඩි අභියෝගයක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.














