2026 වසරේ මුල් මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය යහපත් වර්ධනයක් පෙන්නුම් කළද, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මාර්තු මාසය සඳහා අපේක්ෂිත සංචාරක ඉලක්ක සපුරා ගැනීම දැඩි අභියෝගයකට ලක්ව තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව මාර්තු 1 සිට 25 දක්වා කාලය තුළ සංචාරකයින් 151,693ක් දිවයිනට පැමිණ ඇති අතර, වසරේ මේ දක්වා පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 708,348කි.
පසුගිය 2025 වසරේ මාර්තු මාසයේ මුල් දින 25 තුළ සංචාරකයින් 185,164ක් පැමිණ තිබූ අතර ඒ හා සැසඳීමේදී මෙවර පැමිණීම සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. මේ හේතුවෙන් මාර්තු මාසය සඳහා අපේක්ෂිත සංචාරකයින් 240,935කේ ඉලක්කය 200,000 දක්වා පහත දැමීමට බලධාරීන් පියවර ගත්තද, පවතින තත්ත්වය අනුව එම ඉලක්කය පවා සපුරා ගැනීම අපහසු වනු ඇතැයි සැලකේ. මැදපෙරදිග ගුවන් ගමන් අවහිර වීම සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා යුරෝපීය සංචාරකයින්ගේ පැමිණීම විශාල ලෙස අඩුවීම මෙයට ප්‍රධාන හේතුවයි. විශේෂයෙන් ප්‍රංශය, රුසියාව, ජර්මනිය සහ එක්සත් රාජධානිය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.
කෙසේ වෙතත්, ඉන්දියාව සහ චීනය ඇතුළු ආසියානු කලාපීය රටවලින් සංචාරකයින් පැමිණීම ඉහළ මට්ටමක පවතී. මාර්තු මස පළමු දින 25 තුළ පමණක් ඉන්දියාවෙන් සංචාරකයින් 39,424ක් පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මුළු මාර්තු මාසයටම වඩා වැඩි අගයකි. සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තුර්කි ගුවන් සේවය සහ ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය සිය මෙහෙයුම් පුළුල් කර ඇති අතර ලබන ඔක්තෝබර් මාසයේ සිට බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) ද කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.














