ඇමරිකානු තෙල් සම්බාධක (US oil blockade) හමුවේ දැඩි අසීරුතාවයට පත්ව සිටින කියුබාව වෙත රුසියානු තෙල් නැවක් ළඟා වීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. රුසියාවෙන් රැගෙන එන මෙම සහනදායී තෙල් තොගය කියුබාවට ලබාදීමට ඉඩ දීම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, “ඕනෑම රටකට කියුබාවට තෙල් යැවීමට අවශ්‍ය නම් මගේ කිසිදු ප්‍රශ්නයක් නැහැ, එය රුසියාව වුවත් ගැටලුවක් නැහැ” යනුවෙනි.
නාවික දත්ත වාර්තාවලට අනුව, බොරතෙල් බැරල් 730,000ක් පමණ රැගත් මෙම රුසියානු තෙල් නැව ඉරිදා රාත්‍රිය වන විට කියුබාවේ නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් ස්ථානගත වී තිබුණි. මෙම නෞකාව එළඹෙන අඟහරුවාදා වන විට කියුබාවේ මතන්සාස් (Matanzas) නගරයේ වරායට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.
කියුබාවේ පවතින උග්‍ර බලශක්ති අර්බුදය හමුවේ එරට වැසියන්ට ජීවත් වීමට අවශ්‍ය මූලික පහසුකම් සලසා ගැනීම සඳහා මෙම තෙල් තොගය අත්‍යවශ්‍ය වී තිබේ. කියුබානු රාජ්‍ය මාධ්‍ය ද මෙම නෞකාව පැමිණීම පිළිබඳව වාර්තා කර ඇති අතර, මෙය ඇමරිකානු සම්බාධක ලිහිල් කිරීමේ සලකුණක් ද යන්න පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ අවධානය යොමු වී ඇත.














