පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අත්හිටුවා තිබූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු අද සිට යළි අදියර කිහිපයක් යටතේ ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
විශේෂයෙන්ම මෙම මස 23, 24 සහ 26 යන දිනවල බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන කාර්යාලයට සහ පළාත් කාර්යාල වෙත පැමිණ හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද දින එක්දින සේවාව යටතේ හැඳුනුම්පත් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. අදාළ පුද්ගලයන් අවශ්‍ය සියලුම ලේඛන සහිතව පැමිණිය යුතු බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.
හෙට (මාර්තු 31) සිට සුපුරුදු පරිදි ප්‍රධාන කාර්යාලයේ සහ පළාත් කාර්යාලවල එක්දින සේවාව ක්‍රියාත්මක වන අතර, අප්‍රේල් මස 06 වනදා සිට සියලුම සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු සූදානම් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.














